ඉරානය සමඟ පවතින යුදමය උණුසුම මධ්‍යයේ ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් එරට යුද හමුදාවේ ඉහළම පෙළේ ජෙනරාල්වරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරවලින් ඉවත් කර තිබේ. හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් (Randy George) ඉවත් කිරීමෙන් අනතුරුව ජෙනරාල් ඩේවිඩ් හොඩ්නි (David Hodne) සහ ජෙනරාල් විලියම් ග්‍රීන් (William Green) යන නිලධාරීන්ද මෙලෙස ධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම හදිසි ඉවත් කිරීම් සඳහා නිශ්චිත හේතුවක් පෙන්ටගනය විසින් මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, මැදපෙරදිග ගැටුම් පස්වැනි සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින තීරණාත්මක මොහොතක මෙම වෙනස්කම් සිදුවීම විශේෂත්වයකි. ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් වහාම විශ්‍රාම යන බව පෙන්ටගන ප්‍රකාශක ෂෝන් පර්නෙල් (Sean Parnell) තහවුරු කළ අතර, එම පුරප්පාඩුව සඳහා ක්‍රිස්ටෝපර් ලැනීව් (Christopher LaNeve) පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආරක්ෂක ලේකම්වරයාගේ මෙම තීරණය ඇමරිකානු ආරක්ෂක අංශ තුළ දැඩි කතාබහට ලක්ව ඇති අතර, ඉරානය සමඟ පවතින යුද්ධය උත්සන්න වන අවස්ථාවක හමුදා නායකත්වයේ සිදුවන මෙම හදිසි වෙනස්කම් යුද මෙහෙයුම්වලට කෙසේ බලපානු ඇත්දැයි ආරක්ෂක විචාරකයෝ ප්‍රශ්න කරති. ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ආරක්ෂක අංශවල සිදුවන මෙම දැවැන්ත ප්‍රතිසංස්කරණය ඉදිරි සති කිහිපය තුළ තීරණාත්මක වනු ඇත.
















