ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීම පිළිබඳ බලාපොරොත්තු මධ්‍යයේ ටෙක්සස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.16 දක්වා 16% කින් සහ බ්‍රෙන්ට් දර්ශකයේ මිල ඩොලර් 94.26 දක්වා 14% කින් පහත වැටී ඇත.
යුද ගැටුම් හේතුවෙන් මීට පෙර 110% කින් පමණ ඉහළ ගොස් තිබූ තෙල් මිල මෙලෙස පහළ වැටුණද එය තවමත් සාමාන්‍ය මට්ටමට පැමිණ නොමැති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිල පසුගිය පෙබරවාරියේ ගැටුම් ආරම්භ වීමට පෙර පැවති අගයට වඩා තවමත් 30% කින් වැඩි මට්ටමක පවතින බව වාර්තා වේ.
ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල මෙලෙස පහත වැටුණද දේශීය වශයෙන් ලංකා IOC සමාගම සිය සුපර් ඩීසල් මිල රුපියල් 600 දක්වා ඉහළ දැමීමත් සමඟ මෙරට ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිති. ඉරානය විසින් ඉදිරිපත් කළ කරුණු 10ක යෝජනාවලිය පදනම් කරගනිමින් හෙට ඉස්ලාමාබාද්හිදී ඇරඹෙන සාම සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි සති කිහිපය තුළ ලෝක තෙල් මිල තවදුරටත් ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















