ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියක ඊයේ (31) පැහැර ගැනීමට ලක්ව ඇති බව ඉරාක බලධාරීන් තහවුරු කළේය. පෙබරවාරි 28 වනදා ආරම්භ වූ අමෙරිකා – ඉරාන යුදමය වාතාවරණය මධ්‍යයේ මෙම පැහැර ගැනීම සිදුව ඇති අතර, ඇය මුදා ගැනීම සඳහා ඉරාක ආරක්ෂක අංශ මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
බැග්ඩෑඩ් නුවර මධ්‍යම ප්‍රදේශයේ පිහිටි සාදූන් වීදියේදී (Saadoun Street) මෝටර් රථ දෙකක් යොදා ගනිමින් මෙම පැහැර ගැනීම සිදු කර ඇති අතර, පැහැරගත් පිරිස නිරිතදිග බැග්ඩෑඩ් දෙසට පළා ගොස් ඇත. ආරක්ෂක අංශ විසින් ලුහුබැඳ යාමේදී පැහැරගත් පිරිස ගමන් කළ එක් වාහනයක් බාබිල් ප්‍රාන්තයේ අල්-හස්වා (Al-Haswa) ප්‍රදේශයේදී අනතුරට ලක්ව පෙරළී ගොස් තිබේ. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් නමුත්, මාධ්‍යවේදිනිය අනෙක් රථයට මාරු කරමින් පැහැරගත් පිරිස පළා ගොස් ඇති බව වාර්තා වේ.
මෙම පැහැර ගැනීම වත්මන් යුද්ධයට සම්බන්ධද යන්න මෙතෙක් තහවුරු වී නැතත්, යුද්ධය ආරම්භයේ සිට ඉරාකය තුළ ක්‍රියාත්මක වන ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටී. ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම අවධානය යොමු කරන බවත්, මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්ය. අමෙරිකානු තානාපති කාර්යාලය මීට පෙරද ඉරාකයේ සිටින සියලුම අමෙරිකානු වැසියන්ට එරටින් ඉවත් වන ලෙස උපදෙස් දී තිබුණි.













