ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින වසර ගණනාවක මත ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ඕමානයේ මස්කට් අගනුවර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීමට තම රජය උපරිමයෙන් කැප වන බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි. මෙම තීරණාත්මක සාකච්ඡා වටය සඳහා තුර්කිය ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.
තුර්කියට අමතරව කුවේට්, කටාර් සහ ඊජිප්තුව ද මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ වී සිටී. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පදනම් කර ගනිමින් දෙරට අතර දීර්ඝ කාලයක සිට උණුසුම් තත්ත්වයක් පවතින අතර, ඉරානය පරමාණු බෝම්බ නිපදවීමට උත්සාහ කරන බවට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම චෝදනා නගයි. කෙසේ වෙතත්, කලාපීය සාමය උදෙසා මෙම ගැටුම් සමනය කර ගැනීමට පියවර ගන්නා බව තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.














