බටහිර ඇෆ්ගනිස්ථානයේ හේරත් (Herat) පළාතේ එන්ජිල් දිස්ත්‍රික්කයේ පිහිටි විනෝද චාරිකා ස්ථානයකදී යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බවත්, තවත් 15 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් පළාත් පාලන නිලධාරීන් තහවුරු කළේය. මුලින් මරණ හතරක් වාර්තා වුවද, පසුව බරපතල තුවාල ලබා සිටි තවත් හත් දෙනෙකු රෝහලේදී මියගොස් ඇත.
මෙම ප්‍රහාරයට ලක්වූවන් එරට සුළුතර ආගමික කණ්ඩායමක් වන ෂියා (Shia) මුස්ලිම් භක්තිකයන් බව වාර්තා වේ. ඔවුන් ‘දේ මෙහ්රි’ (Deh Mehri) ගම්මානය අසල පිහිටි සිද්ධස්ථානයකට විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ. තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
මෙතෙක් කිසිදු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති වුවද, අතීතයේදී මෙවැනි ෂියා මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් අයිඑස් (IS) සංවිධානය ප්‍රහාර එල්ල කර ඇත. ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් 10% ත් 15% ත් අතර ප්‍රමාණයක් ෂියා මුස්ලිම්වරුන් වන අතර, ඔවුන් දිගු කලක සිට මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වෙමින් සිටින පිරිසකි.













