අසල්වැසි ඉක්වදෝරය විසින් පනවන ලද බදු ඉහළ නැංවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස කොලොම්බියාව ද එරටින් පැමිණෙන භාණ්ඩ සඳහා වන ආනයන බද්ද 100% දක්වා ඉහළ නංවා තිබේ. මීට පෙර කොලොම්බියාව පනවා තිබූ 30%ක බදු අනුපාතය මෙලෙස වැඩිකර ඇත්තේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ අර්බුදය තවදුරටත් උග්‍ර කරමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කොලොම්බියාව නිසි පියවර නොගන්නා බවට ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා චෝදනා කරන අතර, කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් ඉක්වදෝරයේ හිටපු උප ජනාධිපති ජෝර්ජ් ග්ලාස් සිරගත කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් ද මෙම අර්බුදයට හේතු වී තිබේ. කොලොම්බියානු වෙළඳ අමාත්‍ය ඩයනා මොරාලස් පෙන්වා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුම් සෙවීමට දැරූ උත්සාහයන් අසාර්ථක වූ බැවින් සිය රටේ ව්‍යාපාරිකයන් සහ ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.














