ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ‘ගල් යුගයට’ ඇද දමන බවට කළ තර්ජනයට පිළිතුරු දෙමින්, ඉරානය පවසා සිටින්නේ තම රට කිසිසේත්ම එවැනි තත්ත්වයකට පත් කළ නොහැකි බවයි. ඉන්දියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නිල X ගිණුම හරහා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වසර 7,000ක අභිමානවත් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉරාන ජාතිය ඉතිහාසය විසින් හොඳින් හඳුනාගෙන ඇති බවයි.
ඇමරිකාව සහ ඉශ්‍රායලය එල්ල කරන බෝම්බ ප්‍රහාර මගින් ඉරානය පසුබෑමකට ලක් කළ නොහැකි බව අවධාරණය කරන එම නිවේදනය, ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඔහු වෙතටම හරවා යවමින් පවසා සිටින්නේ ගල් යුගයට අයත් ම්ලේච්ඡ ඝාතන සහ මානව වර්ගයාට එරෙහි අපරාධ නූතන ලෝකයට රැගෙන ආවේ ඇමරිකාව බවයි. විශේෂයෙන්ම කුඩා දරුවන් ඝාතනය කිරීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් ඉරානය මෙහිදී ඇමරිකාවට සෘජුවම චෝදනා කර තිබේ.
ධවල මන්දිරයේ සිට ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ දෙරට අතර යුධමය වාතාවරණය තවදුරටත් උත්සන්න වී ඇති අතර, මෙම වාග් සංග්‍රාමය ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි අවධානයට ලක්ව ඇත. ඉරානය මෙලෙස ඉතිහාසය සහ ශිෂ්ටාචාරය මුල් කරගනිමින් ප්‍රතිචාර දැක්වීම හරහා තම ජාතික අභිමානය සහ ස්ථාවරත්වය ලෝකයාට පෙන්වීමට උත්සාහ කරන බව විචාරකයෝ පවසති.














