ඉන්දියානු මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය එළඹෙන ඉරිදා එරට වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, ඉන්දියාව මේ වසරේ 7.3%ක ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් ජපානය අභිබවා ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වීමට නියමිතව තිබේ.
සිල්ලර උද්ධමනය 2%ට වඩා අඩුවීම සහ කෘෂිකාර්මික නිෂ්පාදනය ශක්තිමත් වීම හේතුවෙන් ඉන්දියානු මහ බැංකුව (RBI) මෙය ආර්ථිකයේ “Goldilocks” අවධියක් ලෙස හඳුන්වා දී ඇත. පසුගිය වසරේ හඳුන්වා දුන් ආදායම් බදු සහ භාණ්ඩ හා සේවා බදු (GST) සහන හේතුවෙන් පාරිභෝගික ඉල්ලුම ද ඉහළ මට්ටමක පවතී.
කෙසේ වෙතත්, මෙම සාධනීය ඉලක්කම් පිටුපස බරපතල අභියෝග රැසක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) භාවිතය ඉහළ යාමත් සමඟ ඉන්දියාවේ මධ්‍යම පන්තිය ගොඩනැගූ මෘදුකාංග ක්ෂේත්‍රයේ බඳවා ගැනීම් අඩාළ වී ඇති අතර, ප්‍රධාන තොරතුරු තාක්ෂණ සමාගම් පහේ සේවක වර්ධනය 2025 පළමු මාස නවය තුළ ඉතා අවම මට්ටමක පැවතුණි.
එසේම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද 50%ක අපනයන තීරුබදු හේතුවෙන් ඉන්දියානු අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, යුරෝපා සංගමය සමඟ අත්සන් කළ නව නිදහස් වෙළඳ ගිවිසුම මගින් දිගුකාලීන සහන අපේක්ෂා කෙරේ. පුද්ගලික අංශයේ ආයෝජන 2012 වසරේ සිට එකතැන පල්වීම සහ විදේශීය සෘජු ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.1%ක් වැනි අවම මට්ටමකට පහත වැටීම ද මෙවර අයවැය තුළ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු ලෙස හඳුනාගෙන තිබේ.














