මැදපෙරදිග පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති මොහොතක, ඉන්දියාවට රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සඳහා ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දින 30ක විශේෂ සහන කාලයක් ලබා දී තිබේ. ඒ අනුව 2026 මාර්තු 5 වන දින සිට අප්‍රේල් 3 වනදා දක්වා රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට සහ ඉන්දියාව තුළ බෙදා හැරීමට ඉන්දියානු පිරිපහදුකරුවන්ට අවස්ථාව හිමිවනු ඇත.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සහ ගල්ෆ් කලාපයේ තෙල් බිම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් නිෂ්පාදනයට එල්ල වී ඇති දැඩි බලපෑම හමුවේ ඇමරිකාව ගත් මෙම තීරණය ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතතාවයට මහත් පිටුවහලකි. මැදපෙරදිග අස්ථාවරත්වය හමුවේ ඉන්දියාව සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ගන්නා උත්සාහයට මෙම තාවකාලික සහනය තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විචාරකයෝ පවසති.
















