ඉන්දියාවේ හෝ කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු තීරණයක් නොගන්නා බවට පසුගිය දා ඉන්දියාවට ගොස් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව සම්බන්ධයෙන් ඉන්දියාව තරයේ විශ්වාසයක් තබා ඇති බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය දා ජනවාරි 7 වන දා මාධ්‍ය හමුවේ පැවසීය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතිශයින් ම සාර්ථක එකක් වූ බව ත් එහිදී ඔහුට විශිෂ්ට පිළිගැනීමක් ලැබුණු බව ත් සඳහන් කළ මහ කොමසාරිස්වරයා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මෙම සංචාරයේදී එකඟත්වයට පැමිණි කරුණු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව ද ප්‍රකාශ කළේය.
මේ සඳහා දින වකවානු මෙතෙක් සකස් කර නැති බව පැවසූ මහ කොමසාරිස් සන්තොෂ් ජා ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.
එසේ ම, ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ආරාධනයට අනුව ඉන්දීය අගමැතිවරයා ස්ථිර වශයෙන් ම මෙම වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව පැවසීය.
“අපගේ සහයෝගය කාලෝචිත ඉක්මන් සහ කොන්දේසි විරහිත එකක් වුණා. විශේෂයෙන් ම 2022 සහ 2023 වසරවල විවිධ ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න පෙර නොවූ විරූ ආකාරයේ ආධාර ලබා දීම සඳහා ඉන්දියාවේ සහාය වෙනුවෙන් ජනාධිපතිවරයා මෝදි අගමැතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළා.
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ප්‍රදාන බවට පරිවර්තනය කිරීමට ඉන්දියාව ගෙන ඇති උපාය මාර්ගික තීරණය පිළිබඳව ජනාධිපති දිසානායක විශේෂයෙන් ඉන්දියාවට ස්තුතිය පුද කළා. ශ්‍රී ලංකාව තුළ නිමකර ඇති රේඛීය ණය යෝජනා ක්‍රම (Line Of credit) ව්‍යාපෘති හතකට අදාළ ගෙවීම් පියවීම සඳහා ප්‍රදාන ආධාර වශයෙන් ඩොලර් මිලියන 20.66ක් දීර්ඝ කර තිබෙනවා. ඒ හා සමානව, උතුරු පළාතේ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ තවත් වැදගත් ව්‍යාපෘතියක් ඇත. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුළු ආධාර ඉන්දියාවෙන් ලැබේ. මෙය ද රේඛීය ණය යෝජනා හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් දැන් ප්‍රදානයක් හරහා ක්‍රියාත්මක වනු ඇති. මා කලින් සඳහන් කළ මහව – අනුරාධපුර දුම්රිය සංඥා ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 14.9ක් සමග ඩොලර් මිලියන 100කට අධික ණය ප්‍රමාණයක් ඉන්දියාව විසින් ප්‍රදාන බවට පත් කර තිබෙනවා” යැයි පැවසීය.