ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදරාහි මහරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර ඇති ඓතිහාසික ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා හෙට (04) සිට ලක්වැසි බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා කොළඹට වැඩම කරවනු ලැබේ. 2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ප්‍රකාශ කළ පරිදි, දෙරට අතර පවතින ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සුවිශේෂී ප්‍රදර්ශනය සංවිධානය කර ඇත. ඒ අනුව පෙබරවාරි 10 වැනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම ධාතූන් වහන්සේලා මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ගුජරාට් ආණ්ඩුකාර ශ්‍රී ආචාර්ය දේව්ව්‍රත් සහ නියෝජ්‍ය මහ ඇමැති ශ්‍රී හර්ෂ් සංඝවි ඇතුළු ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසක් සමඟින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවනු ඇත. 1957 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ අරාවල්ලී දිස්ත්‍රික්කයේ දෙව්නිමෝරි පුරාවිද්‍යා භූමියෙන් සොයාගත් මෙම ධාතූන් වහන්සේලා, මුල් යුගයේ බුදුදහම බටහිර ඉන්දියාවේ ව්‍යාප්ත වී තිබූ ආකාරය මැනවින් විදහා දක්වන අගනා උරුමයකි.














