ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු වන රින්කු සිංගේ (Rinku Singh) පියා වන ඛාන්චන්ද් සිං මහතා අද (27) අලුයම අභාවප්‍රාප්ත විය. සිව්වන අදියරේ පසුවූ අක්මා පිළිකා රෝගයකින් (Stage 4 Liver Cancer) පීඩා විඳි ඒ මහතා, ග්‍රේටර් නොයිඩා හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මෙලොව හැර ගොස් ඇති බව වාර්තා වේ.
සිය පියාගේ අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටි රින්කු සිං, පසුගිය දින කිහිපයේදී ඔහුව බැලීම සඳහා ඉන්දියාව බලා ගොස් තිබුණි. ඊයේ පැවති සිම්බාබ්වේ තරගය සඳහා රින්කු නැවත කණ්ඩායම සමඟ එක් වුවද, පෞද්ගලික හේතූන් මත එම තරගය සඳහා ඔහු වෙනුවට සංජු සැම්සන් ක්‍රීඩා කිරීමට කටයුතු යොදා තිබුණි.
රින්කු සිං අද පසුවන ඉහළ මට්ටමට ඔහුව ඔසවා තැබීම සඳහා ඔහුගේ පියා සුවිශේෂී කැපකිරීමක් කළ අයෙකි. අලිගාර් ප්‍රදේශයේ ගෑස් සිලින්ඩර බෙදාහරින්නෙකු ලෙස සේවය කළ ඛාන්චන්ද් සිං මහතා, දැඩි මූල්‍ය අපහසුතා මධ්‍යයේ වුවද සිය පුතුගේ ක්‍රිකට් සිහිනය සැබෑ කිරීමට නිරන්තරයෙන් දිරිගැන්වීම් ලබා දුන්නේය. රින්කු සිං ජාත්‍යන්තර තලයේදී දක්වන දක්ෂතා පිටුපස සිටි දැවැන්ත ශක්තියක් වූ ඔහුගේ පියාගේ අභාවය වෙනුවෙන් බොහෝ ක්‍රිකට් ලෝලීන් සිය ශෝකය පළ කරති.















