2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය වර්ජනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අතර ලාහෝර්හිදී පැවැති සාකච්ඡාවලදී කොන්දේසි කිහිපයක් ඉදිරිපත් වී තිබේ. ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට අයි.සී.සී.ය ගත් තීරණයට විරෝධය පළ කරමින් පාකිස්තානය මෙම වර්ජනය ප්‍රකාශයට පත් කළ අතර, පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා පාකිස්තානය ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇති බව NDTV පුවත් සේවය වාර්තා කරයි.
බංග්ලාදේශයට අයි.සී.සී. ආදායමෙන් ලැබෙන කොටස වැඩි කිරීම, තරගාවලියෙන් ඉවත් කළ ද ඔවුන්ට සහභාගී වීමේ ගාස්තුවක් ලබා දීම සහ අනාගත අයි.සී.සී. තරගාවලියක සත්කාරකත්වය බංග්ලාදේශයට ලබා දීම පාකිස්තානය ඉදිරිපත් කර ඇති ප්‍රධාන කොන්දේසි වේ. පාකිස්තාන ක්‍රිකට් සභාපති මොහ්සින් නක්වි මහතා මේ සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍යවරයා සමඟ අද දිනයේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම වර්ජනය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට ද දැඩි මූල්‍යමය අලාභයක් සිදුවන බැවින්, සිය තීරණය නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පාකිස්තානයෙන් ඉල්ලීමක් කර තිබේ. දෙරට අතර තීරණාත්මක තරගය ලබන 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, පාකිස්තානයේ අවසන් තීරණය ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයට ලක්ව ඇත.














