ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සපයා රජයට රුපියල් කෝටි 14කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. එහිදී ප්‍රශ්නගත ඖෂධ වර්ග 66ක් මිලදී ගැනීම සඳහා පත්කළ ප්‍රසම්පාදන කමිටුවල සාමාජිකයන්ගේ සුදුසුකම් පිළිබඳව විත්තියේ නීතිඥවරුන් දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.
ප්‍රසම්පාදන කටයුතු භාරව සිටි හිටපු අතිරේක ලේකම්වරයාගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී හෙළි වූයේ, ඖෂධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන් සියලු කමිටුවලට ඇතුළත් වී නොමැති බවයි. සාක්ෂිකරු ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත තමා මෙම පත්කිරීම් සිදුකළ බවයි. කෙසේ වෙතත්, පත්වීම් සිදුකරන නිලධාරියා ලෙස අදාළ පුද්ගලයන්ගේ සුදුසුකම් පිළිබඳ සොයා බැලීමේ වගකීම සාක්ෂිකරු සතු බව විත්තියේ නීතිඥවරු මෙහිදී පෙන්වා දුන්හ.
නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 343 දෙනෙකු සහ ලේඛන 293ක් නම් කර ඇති අතර, විභාගය කඩිනම් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ. ලබන සඳුදා (02) පෙරවරු 10.00ට නඩුව නැවත කැඳවීමට නියමිතය.














