ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී ඉන්ධන පිරවුම් ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ අමෙරිකානු ගුවන් හමුදා නිලධාරීන් සයදෙනාගේ අනන්‍යතාවය අමෙරිකානු පෙන්ටගනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ජෝන් ක්ලිනර් (33), ඒරියානා සැවිනෝ (31), ඈෂ්ලි පෘට් (34), සෙත් කෝවල් (38), කර්ටිස් ඇන්ග්ස්ට් (30) සහ ටයිලර් සිමන්ස් (28) යන නිලධාරීන්ය.
මියගිය පිරිසෙන් තිදෙනෙකු අමෙරිකානු ගුවන් හමුදාවට (Air Force) අයත් වන අතර අනෙක් තිදෙනා ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සේවය කළ අය වෙති. ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන අමෙරිකානු මෙහෙයුම්වලට දායක වෙමින් සිටියදී මෙම KC-135 වර්ගයේ යානය අනතුරට ලක්ව ඇති අතර, එය සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශවයකින් එල්ල වූ ප්‍රහාරයක් නිසා සිදුවූවක් නොවන බව අමෙරිකානු හමුදාව මීට පෙර තහවුරු කළේය.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර සිටියේ මෙම නිලධාරීන් සිය රට වෙනුවෙන් කැපවූ “අමෙරිකානු වීරයන්” ලෙස සලකන බවයි. අනතුර සිදුවූ අවස්ථාවේ යානා දෙකක් මෙහෙයුමේ යෙදී සිට ඇති අතර අනෙක් යානය ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.














