ඉරානයට එරෙහිව දියත් කර ඇති දැවැන්ත යුධ මෙහෙයුම අවම වශයෙන් තවත් සති තුනක කාලයක් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, විනාශ කිරීමට තවත් ඉලක්ක දහස් ගණනක් ඉතිරිව ඇති බවත් ඉශ්‍රායල ආරක්ෂක අංශ (IDF) අද (මාර්තු 15) තහවුරු කළේය. සී.එන්.එන් (CNN) පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඉශ්‍රායල හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් මහතා සඳහන් කළේ, අමෙරිකානු මිත්‍ර පාර්ශවයන් සමඟ එක්ව අවම වශයෙන් යුදෙව් “පාස්ඕවර්” (Passover) උත්සවය තෙක් මෙම ප්‍රහාර සැලසුම් කර ඇති බවයි.
පසුගිය පෙබරවාරි 28 වන දින ඉරාන මෙහෙයුම ආරම්භ කළ දා සිට මේ දක්වා ඉශ්‍රායල ගුවන් හමුදාව බටහිර සහ මධ්‍යම ඉරානය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවන් 400 ක් පමණ එල්ල කර තිබේ. ඉරාන පාලන තන්ත්‍රයේ යටිතල පහසුකම්, මිසයිල පද්ධති සහ ආරක්ෂක ඒකක අඩපණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. ඉශ්‍රායල බලධාරීන්ට අනුව, අමෙරිකාව සහ ඉශ්‍රායලය ඒකාබද්ධව මේ වන විටත් ඉරානයේ ඉලක්ක දහස් ගණනක් විනාශ කර අවසන්ය.
හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේ තමන් කාලරාමුවකට හෝ ඔරලෝසුවකට අනුව වැඩ නොකරන බවත්, එකම අරමුණ ඉරාන පාලන තන්ත්‍රය “බරපතළ ලෙස දුර්වල කිරීම” බවත්ය. තවත් සති හයකට පමණ අවශ්‍ය යුධ සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බැවින්, මැදපෙරදිග කලාපීය යුද්ධය ඉදිරි දිනවලදී තවදුරටත් උත්සන්න වනු ඇති බවට යුධ විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ඉරානය විසින් එල්ල කළ හැකි ප්‍රතිප්‍රහාර වැළැක්වීම සඳහා ද ඉශ්‍රායලය සියලු සූදානමින් පසුවේ.














