ඉරානයේ බටහිර අසර්බයිජාන් පළාතේ උර්මියා (Urmia) නගරයේදී ඊශ්‍රායල බුද්ධි අංශ සමඟ සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන පුද්ගලයන් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉරාන බළධාරීන් පවසන්නේ මෙම පිරිස ඉරාන හමුදා, පොලිස් සහ ආරක්ෂක මධ්‍යස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු ඊශ්‍රායලයට ලබා දී ඇති බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන අතරතුර, ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට යළිත් ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ප්‍රකාශ කරන්නේ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට මේ දක්වා ඉරානයෙන් මිසයිල ප්‍රහාර වාර 7ක් එල්ල වී ඇති බවයි. ඊශ්‍රායලයේ ටෙල් අවිව්, ජෙරුසලම සහ දකුණුදිග ප්‍රදේශවල සිරස නලා (Sirens) නාද කර ඇති අතර, ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබේ.
මීට අමතරව, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දියත් කර ඇත. මෙම තත්ත්වය හමුවේ අමෙරිකාව ඕමානයේ සිටින සිය අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය නිලධාරීන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ද නියෝග කර තිබේ. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධය මේ වන විට කලාපීය මට්ටමින් ඉතා දරුණු අතට හැරෙමින් පවතී.














