මැදපෙරදිග කලාපය දැඩි යුද ගින්නකට මැදි කරමින්, ඉරානයේ යුරේනියම් සාරවත් කරන ප්‍රධානතම මධ්‍යස්ථානයක් වන නටාන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කර අමෙරිකාව සහ ඊශ්‍රායලය අද (21) උදෑසන ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු විකිරණ කාන්දුවක් සිදුව නොමැති අතර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඉන් සෘජු අවදානමක් නොමැති බව තහවුරු වී ඇත.
පෙබරවාරි 28 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ 22 වැනි දිනය අද වන අතර, මෙම සතිය තුළ දෙපාර්ශවය අතර ප්‍රහාරයන් දැඩි ලෙස උත්සන්න වී තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායලය විසින් ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) ගෑස් නිසැපයුම් මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කටාර්හි පිහිටි ලොව විශාලතම ද්‍රව ස්වභාවික වායු (LNG) බලාගාරය වන ‘රාස් ලෆාන්’ (Ras Laffan) වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් බරපතළ විය. පසුගිය වසරේ ජූනි මාසයේදී ද අමෙරිකාව විසින් ෆෝඩෝ (Fordow) සහ එස්ෆහාන් (Esfahan) ඇතුළු ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණි.














