මැදපෙරදිග යුද ගිනි තවදුරටත් අවුළුවමින් ඉරානයේ ඓතිහාසික ෂිරාස් (Shiraz) සහ ඉස්ෆහන් (Isfahan) නගර ඉලක්ක කර අද (15) අලුයම ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. අල්ජසීරා පුවත් සේවයට අනුව, ෂිරාස් නගරයේ අඩු පහසුකම් සහිත නේවාසික ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරවලින් නිවාස ඒකක රැසක් 100%ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර දේපළවලට දැවැන්ත හානි සිදුව ඇත. ඓතිහාසික එරාම් උද්‍යානය (Eram Garden) පිහිටි මෙම නගරයට එල්ල වූ ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර, ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නගරයක් වන ඉස්ෆහන් වෙත ද අද අලුයම සිට යළිත් ගුවන් ප්‍රහාර එල්ල වී ඇති අතර, නගරයට ඉහළින් කළු පැහැති ඝන දුම් වලාකුළු නැඟී එන ආකාරය දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබේ. ඉරාන මාධ්‍ය මෙම ප්‍රහාර “සියොන්වාදී-ඇමෙරිකානු අපරාධ” ලෙස හඳුන්වා දී ඇති අතර, මහා පරිමාණ මිසයිල වරුසාවකින් පසු එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් කලාපීය ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇත.














