මැදපෙරදිග කලාපය දැඩි යුද අවදානමකට ඇද දමමින්, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ලෙස එක්සත් ජනපදය සිය ප්‍රබලතම ‘ඒබ්‍රහම් ලින්කන්’ (USS Abraham Lincoln) නාවික බලඇණිය ගල්ෆ් කලාපයට යොමු කර තිබේ.
මෙයට අමතරව කටාර් සහ ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත B-52 බෝම්බ හෙලන යානා සහ නවීනතම ප්‍රහාරක ජෙට් යානා ස්ථානගත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය තුළ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමේදී පුද්ගලයන් 20,000කට ආසන්න පිරිසක් මියයාම හේතුවෙන් ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අනතුරු ඇඟවීමත් සමඟ මෙම යුද සූදානම තීව්‍ර වී ඇත.
ඇමරිකාවේ මෙම උපායමාර්ගික ස්ථානගත කිරීම පූර්ණ පරිමාණ යුද්ධයක පෙරනිමිත්තක් ලෙස සලකන බව පවසමින් ඉරානය ද සිය හමුදාවන් උපරිම සීරුවෙන් තබා තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ උපදේශක යාහ්යා රහීම් සෆාවි ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය සහ ඇමරිකාව සමඟ “දෛවෝපගත යුද්ධයකට” තමන් සූදානම් බවත් වෙනත් කිසිදු රටක් සතු නොවන රහසිගත ආයුධ තමන් සතුව පවතින බවත්ය.
ඉරානය තුළ දැනට අන්තර්ජාල පහසුකම් අත්හිටුවා ඇති අතර, රටේ සැබෑ තත්ත්වය ලොවෙන් වසන් කරමින් දැඩි හමුදා පාලනයකට අවශ්‍ය පසුබිම සකස් වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ අතර ඉරාන වැසියන් පවතින දැඩි ඉස්ලාමීය පාලනයට එරෙහිව, හිටපු ෂා රජුගේ පුත් රේසා පාලවි යටතේ නිදහස් පාලනයක් ඉල්ලා සිටින බව වාර්තා වේ.
ඊශ්‍රායලය පසුගිය ජුනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පසු උත්සන්න වූ මෙම ආතතිය, ඇමරිකානු යුද නැව් පැමිණීමත් සමඟ ඕනෑම මොහොතක සැබෑ යුද ගැටුමක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ තමන් ඉරානය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත්, ඕනෑම අහිතකර ක්‍රියාවකට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්ය.














