ඉදිරි සති දෙක ඇතුළත ඉරාන-ඊශ්‍රායල් ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වේද නැද්ද යන්න තීරණය කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ධවල මන්දිර මාධ්‍ය හමුවකදී, මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් හට ට්‍රම්ප් මෙලෙස පවසා තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බවයි එහි දී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ.
ඉරාන ස්ථාවරය
මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමට තමන් කැමති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ තම රටට ප්‍රහාර එල්ල කරන අතරතුර සාකච්ඡා කළ නොහැකි බවයි.
ප්‍රහාර නතර වූ පසු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පළමු විකල්පය වනු ඇති බවත් ඔහුගේ එම ප්‍රකාශයේ ඇතුළත් වේ.
ඉරානයේ ස්ථාවරය වන්නේ මෙය අමෙරිකාවේ යුද්ධයක් නොවන බවටයි.
ඊශ්‍රායලයේ ස්ථාවරය
ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම මෙහෙයුම අවසන් වන විට ඉරානයෙන්, ඊශ්‍රායලයට කිසිදු යුධමය තර්ජනයක් ඇති නොවන බවයි.
මේ වන විට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සදහා ඊශ්‍රායලය විසින් දැඩි ලෙස හානි සිදුකර කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
යුධ ගැටුම් හමුවේ ඊශ්‍රායලයේ තත්ත්වය
මේ අතර ඊයේ ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 271 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයේ සොරොකා රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ගැටුම ආරම්භයේ සිට ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබේ.
යුධ ගැටුම් හමුවේ ඉරානයේ තත්ත්වය
ඉරානයේ කොණ්ඩාබ් හි පිහිටි න්‍යෂ්ටික බලය නිපදවීමට අවශ්‍ය මූලද්‍රව්‍ය ගබඩාවකට ඊශ්‍රායලය විසින් ඊයේ බෝම්බ හෙළා තිබුණි.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රදේශයේ කිසිදු විකිරණ මට්ටම් ඉහළ යාමේ අවදානමක් නොමැති බවයි.
මේ අතර ගැටුම් ආරම්භයේ සිට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 224 දෙනෙකු මියගොස් තිබේ.
තවත් 1,200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
මේ අතර අමෙරිකාවේ මානව හිමිකම් සංවිධානයක් වාර්තා කළේ, ඉරානයේ පුද්ගලයින් 639 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විශේෂ රැස්වීම
මේ අතර අද දින විශේෂ රැස්වීමක් කැදවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ දැනට පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
ඉරානය, රුසියාව, චීනය, පාකිස්ථානය සහ ඇල්ජීරියාවේ ඉල්ලීම් අනුව මෙම හදිසි රැස්වීම කැදවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පැවසුවේ තම රටද ඒ සදහා සහභාගී වන බවයි.