ඉරාන නාවික හමුදාපතිවරයා ඉලක්ක කරගනිමින් ඉරානයේ අතිශය ආරක්ෂිත වළලු තුළම ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ (Mossad) බුද්ධි අංශය දියත් කළ රහසිගත මෙහෙයුමක් අවසන් මොහොතේදී ව්‍යර්ථ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන්ගෙන් පසුව දැන් එරට හමුදාපතිවරුන් සෘජුවම ඉලක්ක කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව පෙනෙන අතර, ඉරාන නාවික හමුදාපතිවරයාගේ සමීපතම ආරක්ෂක අංශ තුළටම මොසාඩ් ඔත්තුකරුවන් මෙලෙස ඇතුළු වී සිටීම ඉරාන ආරක්ෂක අංශවල පවතින බරපතල දුර්වලතාවක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තම හමුදා ප්‍රධානියෙකු ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම මෙහෙයුම හේතුවෙන් ඉරානය දැඩි කෝපයට පත්ව සිටින අතර, ඕනෑම මොහොතක ඊශ්‍රායලයට එරෙහිව සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය සූදානම් වන බැවින් මැදපෙරදිග කලාපය පුරා යළිත් දරුණු යුද වාතාවරණයක් නිර්මාණය වී තිබේ. මෙම මෙහෙයුම ඉරාන හමුදා ව්‍යුහය අඩපණ කිරීම සඳහා සිදුකළ එකක් බවත්, අවසන් තත්පරයේදී එය ව්‍යර්ථ නොවන්නට කලාපීය බලතුලනය දැඩි වෙනසකට ලක්වීමට ඉඩ තිබූ බවත් ආරක්ෂක අංශ පවසන අතර, මෙම බුද්ධි අංශ විනිවිද යාම හමුවේ ඉරානය සිය ආරක්ෂක උපක්‍රම යළි සමාලෝචනය කිරීමට පියවර ගෙන ඇත.














