ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ලොව පුරා සිටින ඇමරිකානු පුරවැසියන්ට, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පදිංචිව සිටින අයට, “දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන්” පසුවන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (22) ලෝක ව්‍යාප්ත ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ඉරානයට හිතවාදී කණ්ඩායම් විසින් ලොව පුරා විසිරී සිටින ඇමරිකානුවන් හෝ ඇමරිකානු අවශ්‍යතා සහිත ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එම නියෝජිතායතනය අනතුරු අඟවයි.
මැදපෙරදිග කලාපයෙන් බැහැරව පිහිටි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථාන දැනටමත් විවිධ තර්ජනවලට ලක්ව ඇති බව පෙන්වා දෙන මෙම නිවේදනය, පවතින යුදමය තත්ත්වය නිසා ගුවන් සීමාවන් වරින් වර වසා දැමීමට සිදුවන බැවින් ගුවන් ගමන් බාධාවන් ඇතිවිය හැකි බවට ද දැනුම් දී තිබේ. මේ නිසා විදේශගතව සිටින සියලුම ඇමරිකානුවන්ට තම ආසන්නතම ඇමරිකානු තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය ලබා දෙන උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙස දන්වා ඇත.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමරිකානු – ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මේ වන විට සිව්වන සතියටත් එළඹ ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම ප්‍රහාර ඊශ්‍රායලය, ජෝර්දානය, ඉරාකය සහ ඇමරිකානු හමුදා කඳවුරු පවතින ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරගෙන සිදු වේ. වාර්තා වන අන්දමට මෙම දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1,300කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ඒ අතර ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද සිටින බව සඳහන් වේ.














