ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක ලෙස මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පත් කර තිබේ. මෙතෙක් එම ධුරය දැරූ එස්. ශ්‍රීධරන් මහතා එම තනතුරෙන් ඉවත් කර ඇති අතර, පක්ෂ නායක සී. වී. කේ. සිවඥානම් සහ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් විසින් මෙම තීරණය පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත. එස්. ශ්‍රීධරන් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
තම පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු කණ්ඩායම සක්‍රියව මෙහෙයවන බව නව නායක ෂානක්කියන් රාසමාණික්කම් මහතා ප්‍රකාශ කර තිබේ. දැනට පාර්ලිමේන්තුවේ ITAK පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් අට දෙනෙකු කටයුතු කරන අතර, මෙම නායකත්ව වෙනස උතුරු නැගෙනහිර දේශපාලනයේ තීරණාත්මක හැරවුමක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.















