පසුගිය රජය සමයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ” ඊ විදේශ ගමන් බලපත්ර ” මිලියන 05 ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳ
ජාතික ප්රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03 වැනිදා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඊයේ මෝසමක් මාර්ගයෙන් මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදුකළේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු වග උත්තරකරුවන් කීපදෙනකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඊ විදේශ ගමන් බලපත්ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ ජාතික ප්රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.
එම විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව විසින් සතියක කාලයක් ඉල්ලා තිබෙන බවත් මෙම කටයුතුවල ප්රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී වග උත්තරකාර සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කණගිශ්වරන් මහතා කියා සිටියේ අදාළ විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස සිය සේවාදායකයන් විසින් කරනු ලබන ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව ඒ පිළිබඳ විභාගය ජනවාරි මස 23 වැනිදා පැවැත්වීමටද විනිසුරු මඩුල්ල දින නියම කළහ.