තැඹිලි ගෙඩියක් බොනකොට පෙනෙන මේ ලස්සන දර්ශනය මතකද? ස්ට්‍රෝ එකකින් බොනවට වඩා, උඩ බලාගෙන තැඹිලි ගෙඩියක් බොන එක වෙනම “සංස්කෘතියක්”.
උඩ බලාගෙන තැඹිලි ගෙඩියක් බොන එක වෙනම “සංස්කෘතියක්”
ඇයි මම ඒකට සංස්කෘතියක් කියන්නේ? මුලින්ම තියෙන්නේ තැඹිලි ගෙඩියක් තෝරගන්න එක. තැඹිලි වලු ගොඩක් තියෙන තැනකදී එතනින් තමන්ට ගැළපෙන තැඹිලි ගෙඩිය තෝරගන්න එක කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. රසම තැඹිලි ගෙඩිය හොයන කෙනාට රසම තැඹිලි ගෙඩිය හොයාගන්නත්, කහට රසට හෝ බෙහෙතට තැඹිලි බොන කෙනෙකුට ගැළපෙන තැඹිලි ගෙඩිය හොයාගන්නත් හොඳට අත්දැකීම් තියෙන්න ඕන.
සමහරු තෝරගන්නේ ලස්සනම තැඹිලි ගෙඩිය. ලස්සනම එක රසම එක නෙමෙයි. සමහර විට පොඩි පැල්ලමක් දෙකක් තියෙන තැඹිලි ගෙඩි රසම රසයි. ලොකුම තැඹිලි ගෙඩියේ වතුර ගොඩක් තියෙනවා කියලා හිතුවට එහෙමත් නෑ. පැහුණු තැඹිලි වල ලොඳ මෘදු නෑ. ලා වැඩිනම් ලොඳ පේන්නෙ නෑ. තැඹිලි තේරීම කියන්නේ ලොකු වැඩක් කිව්වේ ඒකයි.
ඉන්පස්සේ එනවා තැඹිලි කපන සෙල්ලම. මුවහත තියෙන පිහියකින් “ක්‍රස් ක්‍රස්” හඬින් කැපිලා යන තැඹිලි ගෙඩියේ ඔලුව දිහා බලාගෙන ඉන්න එක තමයි ඔරිජිනල් asmr අත්දැකීම. මුදුන එක ගැම්මට කපන එක හැකියාවක්. ඊළඟට එනවා සුදුම සුදු පාට මුදුනක්. ඔන්න ඕකට පිහියේ උල් පැත්තෙන් අනිනකොට උඩට විදින තැඹිලි වතුර ටික ඕනෑම පැත්තකට යන්න පුළුවන්. ඒවා මූණට වදින එකෙන් තමයි අපේ මහන්සිය මුලින්ම නිවෙන්න පටන් ගන්නේ. වතුර මලක් දිහා බලාගෙන ඉන්නකොට, හෝස් කටකට ඇඟිල්ල තියලා වතුර මල් හදනකොට, පසුකාලීනව වෙන වෙන විදීම් කරනකොට අපි විඳින්නේ මොළයේ එකම කලාපයක් උත්තේජනය කරන සෘංගාරාත්මක අත්දැකීමක්.
තැඹිලි ගෙඩියේ විවරය කැතට කපන්නේ නෑ. එතන මනසින් ගානට මැනලා, හරි-හතරැස් කොටුවක් කපාගන්න ලාංකිකයන්ට විශේෂ හැකියාවක් තියෙනවා. එතනින් එක මුල්ලකට කට තියලා උඩ බලාගත්තහම තමයි දිවකට පිනාගෙන තැඹිලි වතුර උගුරෙන් පල්ලෙහාට ගලන්නේ. ඒත් එක්කම අපට පෙනෙනවා අහස. වැඩිහිටි වුණාට පස්සේ අපි ඔලුව උඩට උස්සලා අහස බලන්නේ දවසට කීපාරක්ද? පහළ ෆෝන් එක දිහාම බලාගෙන ඉන්න ඔලුගෙඩි සමහරවිට මාස ගාණකින් ඉහළ අහස දිහා බලලා නැතුව ඇති. තැඹිලි ගෙඩියක් අපට ඒ අත්දැකීමත් අරගෙන දෙනවා. මනෝ පාරක් ගහගෙන “ගොල ගොල” ගාලා තැඹිලි ගෙඩිය බීගෙන යනකොට මානසික ආතතිය නිවෙනවා. ඒත් වැඩි කල්පනා එපා. පිටඋගුරේ යන්න පුළුවන්.
ඊළඟට එන්නේ තැඹිලි ගෙඩිය පලලා ලොඳ කන කොටස. හරි මැදින් තැඹිලි ගෙඩිය කපාගත්තේ නැතිනම් ඒක ලස්සන නෑ. ඒ වගේම තැඹිලි ගෙඩියෙන්ම කපාගන්න ස්වභාවික හැන්දකින් ලොඳය කන එකත් වෙනම සැපක්. ගැස්ට්‍රයිටිස් තියෙන අයට තැඹිලි ගෙඩිය ඇතුළේ තියෙන සුදු-කහ මිශ්‍ර කහට කොටස දිව්‍ය ඖෂධයක්.
ඊටත් පස්සේ තැඹිලි බීලා කාලා තැඹිලි කෝම්බය බිමේ වනනකොට අපි බලන්නේ බිම. මේක දණිස් දෙකෙන් හෝ කොන්දෙන් නැමිලා කරන්න ඕන වැඩක්. සියලු ලෝ සතුන්ගේ යහපත උදෙසා තැඹිලි කෝම්බෙට වතුර පිරෙන්නේ නැතිවෙන්න අපි ඒක අනිත් පැත්ත හරවන්නෙත් ලස්සනට පිළිවෙලට හැඩේකට.
ලෝකයේ තියෙන හොඳම ස්වභාවික හයඩ්‍රන්ට් එකක්, අයිසොටිනික් ඩ්‍රින්ක් එකක් වෙන තැඹිලි ගෙඩියක් බොන එක මුල සිට අගට සංස්කෘතිකාංගයක් වෙන්නේ එහෙමයි. ඒ විතරක්ද ගුණ ටික? කහට රස තැඹිලි වකුගඩු වල ගල් නිවාරණයටත් හේතුවෙන බවයි කියන්නේ. පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම් වගේ ඛණිජ ලවණ බහුල ස්වභාවික බීමක්. ආහාර මාර්ගය ක්‍රියාකාරී කරන එන්සයිම තැඹිලි වතුරේ තියෙනවා. ඒක බඩවැල් වලටත් හොඳයි. ශරීරයේ සෛල වල විෂ නාශකයක්, රුධිර පීඩනය අවම කරවනවා. හොඳට ගසලා විනාශ වුණු රාත්‍රියකට පස්සේ පහුවදා උදෑසන තැඹිලි ගෙඩියක් බිව්වහම එන පණ කොහොමද නේද… නැත්නම් දාඩිය දාලා හොඳටම තෙහෙට්ටු වෙලා ඉන්න වෙලාවක තැඹිලි ගෙඩියක් බිව්වහම අපිව කෙලින් වෙන හැටි…
තැඹිලි කඩෙන් ගන්නවාට වඩා ගහෙන් කඩාගෙන බොන අයට මීටත් වඩා සැපක් ගන්න පුළුවන්. කොල්ලො කාලේ සමහරු ඒවා හොරකමටත් කරනවා. ඒත් විනෝදයි. හැබැයි හොරකම නරකයි.
“නිදා නොඉඳ යළි පිබිදී අහස බලන්නේ”, කිව්වට සමහරු පොඩි කාලේ උඩුබැලි අතට හිටියට පස්සේ නැවත අහස බලන්නේම නැති තරම්. “අහසේ මොනවද බලන්න තියෙන්නේ?” ඔබටත් තැඹිලි ගෙඩියක් බොන ගමන්ම ඒ අත්දැකීම ලබාගන්න පුළුවන්.
– අසංක හදිරම්පෑල.