.
ශ්‍රී ලංකාවේ උතුර යනු හරි ම අපූරු හැඩහුරුකම් ඇති පෙදෙසකි. උතුරත් සමඟ ම නැගෙනහිරත් ඒ අපූරුතත්ත්වය ට ඈඳා ගත්තේ වේළුපිල්ලේ පිරභාහරන් ය. ඒ අනුව එම භූමිය සිතියම් ගතකළ ද එහි අපූරු හැඩයක් ගෙන දුනි. මේ සා විශාල බිම්කඩක ජන ජීවිතය ශතවර්ශ ගණනාවක සිට විවිධ හැලහැප්පීම් මත සුන්දරව ගෙවී ගියේ ය. ඒ සුන්දරත්වය කෙරම් ද යත් දෙස් විදෙස් කලාකරුවන් රැසකට තම නිර්මාණ සඳහා ද වස්තු බීජයන් සපයා ඇත්තේ මේ ජන ජීවිතයේ කටුකත්වයයි.
කටුකත්වය සුන්දරත්වයට පෙරළාගෙන දිවි ගෙවූවන් සේ ම මොවුන්ගේ දුර්භික්ෂය නිසාවෙන් ම දිවි පෝෂණය කරගත් පිරිසක් ද වෙයි. ඔවුන් මේ දෙපළාතේ දේශපාලකයින් ය. ඒ දේශපාලකයින් පාවාඩයක් කොටගත් දකුණේ දේශපාලකයින් ද යෙහෙන් චිරාත් කාලයක් වැජඹුණි. මේ සන්තෑසියට විරාමයක් තබන්නට, 2009 දී සිදුවූ තිස් වසක යුද නිමාව යම් අඩිතාලමක් දැම්මේ ය. එහෙත් එය යථාවක් කරගන්නට දේශීය වශයෙන් වෙර වීරිය දරද්දී, අපමණ බාධා ඇති කරන්නට සමත් බලවේගයක් ද රටින් පිටත සිට ක්‍රියාත්මක වී ය. ඒ බලවේගය ශ්‍රී ලංකාවේ ජන විඥානය ට තවත් වදනක් ද හුරු කළේ ය. එය නම් “ඩයස්පෝරාව” යි. පුළුල් අර්ථයෙන් ගත් කල එය “දමිළ ඩයස්පෝරාව” වෙයි.
රටින් පිටත සිට, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මතය නන් අයුරින් පෝෂණ කළ මේ පිරිසේ අදිසි හස්තයන් රැසක්, යුරෝපයේ මර්මස්ථාන කේන්ද්‍ර කරගනිමින් පශ්චාත් යුද සමයේ ද රට ට කළ බලපෑම අති මහත් වී ය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ එක්සත් රාජධානියට පිවිසීමට හීත්රෝ ගුවන් තොටුපළ ට ළඟා වූ අවස්ථාවක දී, මෙහි බලපෑම තදින් ම ප්‍රකට වූ අවස්ථාවක් ලොව ම දැක ගත්තේ ය. ඒ දිනය සටහන් වන්නේ, 2010 වසරේ නොවැම්බර් 29 ලෙස ය. අවසන් වරට මේ කණ්ඩායමේ උද්ඝෝෂණයක් දිස්වන්නේ 2019 වසරේ ජුනි මාසයේ දී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය අසල දී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය ට ක්‍රීඩා කරමින් සිටින විට දී ය.
මේ සඳහන් කළ කාල පරාසය තුල දී හා ඊට එපිට දී ද මේ කණ්ඩායම් ශක්තිමත්ව, ශ්‍රී ලංකාවේ රජය ට එරෙහිව තම තමය දැඩිව ප්‍රකාශ කළ අවස්ථා රැසක් වී ය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ට අත් වූ වාසිවලට වඩා අවාසි රැසක් බව අපි පිළිගතයුතු වෙමු. ඒ තත්ත්වය අවම කරගත හැකි නම් ඉන් වාසි අත්වන්නේ රටට බවත් අපි පිළිගත යුතු ය.
කෙසේ වෙතත්, රටින් පිටත සිට ක්‍රියාත්මක වූ ඊළාම්වාදීන්ගේ ප්‍රබල සංවිධාන ව්‍යුහය තුල මේවනවිට දෙදරීමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් ලොව පුරා ඊළාම්වාදී මතය දුර්වල කිරීමටත් ඉන් අත්වන වාසි සහගත දේශපාලනික පසුබිම ශ්‍රී ලංකාවේ අනාගත දියුණවට දායකකරගැනීමටත් කවුරුන් හෝ සමත් වන්නේ නම් එය අගය කළ යුත්තකි.
ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ ඊළාම්වාදීන් සහ විදෙස්ගතව වෙසෙන ඊළාම්වාදීන්ගේ අභිප්‍රායයන් වෙනුවෙන් කටයුතු කළ සංවිධාන ජාලයේ ප්‍රබල සංවිධානයක් වූයේ “රටින් පිටත ඊළාම් රාජ්‍යය” (TGTE – Transnational Government of Tamil Eelam) සංකල්පයයි. එහි නායකයා ලෙස පෙනී සිටියේ වි. රුද්‍රකුමාරන් (Visvanathan Rudrakumaran) ය. පසුගිය දා ඇතිවූ මතවාදී අරගලයේ දී මෙම සංවිධානයේ රුද්‍රකුමාරන් ගේ බලය හීන වී ගොස් ඇත. ඒ අනුව රුද්‍රකුමාරන්ට රටින් පිටත ඊළාම් පාර්ලිමේන්තුවේ තනතුරු පවා අහිමිව ගොස් ඇත.
විදෙස්ගත දමිළ ප්‍රජාවගේ සහයෝගය නොඅඩුව ලබාගනිමින් ශක්තිමත්ව තිබූ සංවිධාන ජාලයක් දෙදරායාම සරලව තැකිය යුතු නොවෙයි. ඒ අනුව එම සංවිධාන ජාලය නියෝජනය කළ ප්‍රබලයින්ගේ මතවාදී වෙනස ද සැලකිල්ලට ගත යුතු ය. එපමණක් ද නොව, ඉන් රට ට අත්වන දේශපාලනික බලපෑම ද තක්සේරු කර ගැනීමට අප සමත් විය යුතු ය. දෙස් විදෙස් දේශපාලන හා අදිසි හස්තයන් රැසක් විසින් පෝෂණය කරනු ලැබූ මෙන් ම, තිස්වසක දරුණු යුද පසුබිමක් නිර්මාණය කළා වූ, ජාතිකත්ව ගැටලුවකට මුල් වූ කාරණා කෙරෙහි අප ඒ තරමට සංවේදී විය යුතු බව මේ අනුව අප වටහා ගත යුතු ය. ශ්‍රී ලාංකික දේශපාලන බිම සවිඥානිකව උතුරු නැගෙනහිර දේශපාලන භූමිය ස්පර්ශ කරන්නේ නම් දැන් පැමිණ ඇත්තේ ඒ සංවේදී මොහොතයි.
ජනවාර්ගිකත්වය මත පිල් බෙදුණු හා පක්ෂ දේශපාලනය මුවහත් කෙරුණු යුගයක් නිදහසින් පසු ශ්‍රී ලංකාව ට උරුම වී ය. මෙය කරුමයක් වී ඇති තරම, වත්මන් ව්‍යවස්ථාදායකයේ අසරණ හා නෝංජල් ස්වභාවයෙන් ම ලොව හමුවේ පාඩම් රැසක් කියා දී ඇත. එය වෙනස් කිරීමට අවැසි ම යුගයක ද අපි දැන් දිවි ගෙවන්නෙමු. එලෙස සාධනීය පරිවර්තනයක් දැකීමට නම් උතුරු නැගෙනහිර බහුතරයක් වෙසෙන හා ගැටුමට මැදිවූ ජනවර්ගයේ උච්ඡාවචනයන් තේරුම්ගැනීම හා ඊට පිළිතුරු දීම සුදුසු වෙයි.
මේ සුදුසුකම් සැපිරීමට නිශ්චිත පසුබිමක් නිර්මාණයකරදීමට 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් ද දමිළ ඩයස්පෝරාවේ දෙදරීම ද සමත්ව සිටී. නැගෙනහිර මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තකරණයට එරෙහිව දමිළ සමාජයතුල ඇත්තේ තදබල විරෝධයකි. පාස්කු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව එය තීව්ර වී ඇත. මේ සම්බන්ධයෙන් දකුණේ සිවිල් සමාජය සහ සුබවාදී අනාගතයක් පතන දේශපාලන ව්‍යාපාරයන් උනන්දුවක් හෝ අවධානයක් යොමුකර තිබේ ද.. යන්න සැක සහිතය. එය සැකයක් ම නොවන්නේ නම් මේ වනවිට යුරෝපයේ ඇතිවී තිබෙන වෙනස්කම් තුළින් දමිළ ප්‍රජාවේ සහභාගීත්වය වර්ධනය කරගනිමින් දකුණේ දේශහිතෛෂී දේශපාලනික ගමන්මග ශක්තිමත් කිරීමට යුහුසුළුව පියවර ගතයුතු ය. ඒ බවක් පෙනෙන්නට ද නැත. එසේ නොවන්නේ දැයි විමසීම ද මේ මොහොතේ වෙන ම දේශපාලන විශ්ලේෂණයකි.
කෙසේ වෙතත්, අප කළ දේශපාලනික විමසුම්වලට අනුව, උතුරේ සාම්ප්‍රදායික දේශපාලනයට හා නැගෙනහිර අන්තවාදී ව්‍යාපාරයන්ට පිළිතුරක් ලෙස නව දේශපාලන උත්තේජනයක් සහිත දේශපාලනික මැදිහත්වීම් මේ වනවිට උතුර හා නැගෙනහිර පාදක කරගෙන සිදුවෙමින් පවතී. මෙම කණ්ඩායම් හෝ පුද්ගල සාධක එක් තැන් කරගනිමින්, පොදු සමාජ ව්‍යාපාරයක් ඔස්සේ සුබවාදී මාවතක දේශපාලන පිළිතුරක් වෙනුවෙන් පෙළගැස්සවීම සිදු කළ යුතු ම කාර්යයක් වී ඇති බවත් පැහැදිලි වී ය.
මේ තලයේ ද වෙනසක් සිදුවෙමින් පවතී. එනම්, 2015 ජනවාරි 08 වනදින සිදුවුණා යැයි දකුණ පාරම්බාන දේශපාලන වෙනස උතුරට කිසිම උත්තේජනයක් ලබා නොදීම ය. එනම්, උතුර හා නැගෙනහිර මේ දේශපාලන වෙනසින් කිසිම ප්‍රතිලාභයක් ලබා නැත. ඒ වෙනුවට ඔවුනට ඇත්තේ, විශේෂයෙන් ම නැගෙනහිර අන්තවාදය පෝෂණය කිරීමට වත්මන් ආණ්ඩුව අනුබල දුන්නා යන හැඟීම පමණකි. අප පෙර කී “දමිළ ඊළාම් සිහිනය” ට පවා යට වී සිටි බොහෝ පිරිස් මේ වනවිට උතුරේ සංවර්ධනයට කැප වී කටයුතු කළ රාජපක්ෂ පාලනයට යම් ආශීර්වාදාත්මක මත පළකරමින් සිටීම ද විශේෂිත ය.
මේ ආශීර්වාදය පෙර අප සඳහන් කළ රටින් පිටත ඊළාම් රාජ්යය සංවිධානයේ ක්‍රියාකාරීන් තුල ද ඇතිවී තිබේ. ඒ අනුව එම සංකල්පයේ ක්‍රියාකාරීවු ඉතා සුළු පිරිසක් තවමත් යුද අපරාධ සහ ඊළාම් සංකල්පයේ සටන්පාඨ මොරගෑවත්, අති බහුතරය සහයෝගීතාවයෙන් යුතුව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනයට දායක විය යුතු ය යන මතයේ දැඩිව නිමග්නව සිටියි. එනයින් දැන් අප අවධානය යොමු කළ යුතු තත්ත්වය හා අදාල කණ්ඩායම් හි ක්‍රියාකාරීත්වයේ වෙනස පැහැදිලි ය.
මෛත්‍රී – රනිල් පාලනය 2015න් පසුව උතුරට හා නැගෙනහිරට කළ දෙයක් නොමැති බවත්, කුමන තත්ත්වයක් යටතේ වුව දැන් ශ්‍රී ලංකාවේ යුද්ධයක් නැති පසුබිමේ දී රටේ සංවර්ධනයට දායක වූයේ, රාජපක්ෂ පාලනය බවත් ඍජුව ප්‍රකාශ කරන්නට තරම් දැඩිමතධාරී ඊළාම්වාදීන් පවා පෙරට විත් තිබේ. පක්ෂ දේශපාලනයෙන් කුජීත වී, කැපුවත් අහවල් පාටයැයි නොකියන්නේ නම්, ඒ නැඹුරුව සුබදායක ය. එහි වාසිය රට ට ය. එය රටට උදාවනු යනු අනාගතය සුබදායක ය.
Written By – Akalusha Vidyathilake