ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තීරණාත්මක තෙවන සහ අවසාන එක්දින තරගයෙන් ලකුණු 53ක ජයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද එංගලන්තයට හැකියාව ලැබුණි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නායක හැරී බෲක්ගේ (නොදැවී 136) සහ ජෝ රූට්ගේ (නොදැවී 111) සුපිරි ශතක හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 357ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් ලකුණු 121ක් රැස් කළ ද, සෙසු පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 304කට සීමා විය.
පැතුම් නිස්සංක ලකුණු 50ක් රැස් කළ අතර පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ජෙමී ඕවර්ටන්, විල් ජැක්ස්, ලියම් ඩෝසම් සහ ආදිල් රෂිඩ් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
දෙරට අතර මීළඟට පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ජනවාරි 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.














