ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් 30 ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීම සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
මයිලිඩ්ඩි සහ ගුරුනගර් ධීවර වරායන් නවීකරණය කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එමෙන්ම වඩ්ඩුවාකල් පාලම, “උතුරු පොල් ත්‍රිකෝණය” ව්‍යාපෘතිය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා වැදගත් වන කිවුල් ඔය ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා කරුණු විමසන ලදී.
උතුරු පළාතේ පවතින රජයේ ඉඩම් ප්‍රයෝජනයට ගනිමින් නව කාර්මික කලාප පිහිටුවීම හරහා දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඇති සූදානම පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් උතුරේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.














