ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරන ආදම්ගේ පාලම (Adam’s Bridge) හෙවත් රාම සේතු හුණුගල් දාමය නැරඹීම සඳහා වන වාණිජ බෝට්ටු චාරිකා එළඹෙන මාර්තු 03 වැනිදාට යෙදෙන ලෝක වනජීවී දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මන්නාරම ප්‍රාදේශීය සභාව සහ වනජීවී දෙපාර්තමේන්තුව අතර ආදායම් බෙදාගැනීම සම්බන්ධයෙන් පැවති දීර්ඝකාලීන ගැටලුව සමාන ආදායම් බෙදාගැනීමේ සූත්‍රයකට එකඟ වීමෙන් විසඳී ඇති අතර ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට මන්නාරම පළාත් පාලන ආයතන පියවර ගෙන ඇත.
මෙම සංචාරක වැඩසටහනේ පළමු අදියර සඳහා බෝට්ටු ක්‍රියාකරුවන් 52 දෙනෙකු බලපත්‍ර ඉල්ලා ඇති අතර ඉන් 22 දෙනෙකුම දේශීය ධීවර ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් වීම විශේෂත්වයකි. තලෙයිමන්නාරම තොටුපළෙන් ආරම්භ වන මෙම මාර්ගෝපදේශක චාරිකා හරහා දේශීය සංචාරක ව්‍යාපාරය සහ මන්නාරම ආර්ථිකය නැංවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද අපේක්ෂාව වී තිබේ. 2021 වසරේ චීන තානාපතිවරයා මෙම කලාපයේ සංචාරය කිරීමත් සමඟ පෝක් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික කතාබහක් නිර්මාණය වූ අතර මෙම නව සංචාරක මුලපිරීම කලාපීය වශයෙන් ද ඉතා වැදගත් වනු ඇත.














