ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සහ රුසියානු තරුණියන් සමඟ අනියම් සබඳතා පැවැත්වීමට ඔහු උදවු කළ බවට එල්ල වන චෝදනා මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් එප්ස්ටයින්ට අදාළව නිකුත් කරන ලද ලේඛන මිලියන 3ක් අතර තිබූ ඊමේල් පණිවුඩ කිහිපයක් පදනම් කරගනිමින් මෙම චෝදනා එල්ල වී තිබුණි. බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එම ඊමේල්වල අඩංගු කරුණු “සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අතිශය විකාර සහගත” බවයි.
2013 වසරේදී එප්ස්ටයින් විසින්ම තමා වෙත ලියාගත් බව කියන මෙම ඊමේල්වල සඳහන් වන්නේ බිල් ගේට්ස් හට මත්ද්‍රව්‍ය ලබා ගැනීමටත්, රුසියානු තරුණියන් සහ විවාහක කාන්තාවන් සමඟ සබඳතා පැවැත්වීමටත් සිය පදනමේ සේවය කළ අයෙකු උදවු කළ බවයි. කෙසේ වෙතත්, මෙම චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි එම ලිපිගොනුවල නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසන්නේ, එප්ස්ටයින් තමා සමඟ සබඳතාවක් පවත්වා ගැනීමට නොහැකි වීම ගැන කෝපයෙන් සිටි බවත්, ගේට්ස්ව කොටු කර අපහාස කිරීමට ඔහු මෙලෙස ව්‍යාජ තොරතුරු සකසා ඇති බවත්ය. මීට පෙර ද බිල් ගේට්ස් ප්‍රකාශ කර තිබුණේ තමා පරිත්‍යාගශීලී කටයුතු සඳහා පමණක් එප්ස්ටයින් සමඟ කිහිප වතාවක් හමු වූ බවත්, ඔහු සමඟ කාලය ගත කිරීම පිළිබඳව දැන් පසුතැවෙන බවත්ය.
ජෛව විද්‍යාත්මක ආරක්ෂාව සහ ස්නායු තාක්ෂණය වැනි රහසිගත ව්‍යාපෘති පිළිබඳව ගේට්ස් එප්ස්ටයින්ට දැනුම් දුන් බවට මීට පෙර යුරෝනිව්ස් (Euronews) වැනි මාධ්‍ය වාර්තා කර තිබුණ ද, ඒ සියල්ල ගේට්ස් පාර්ශ්වය විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලබයි.














