ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණුදිග ටොලන්ඩ් ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකට සම්බන්ධ 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර තිබේ. පසුගිය අප්‍රේල් 3 වන සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ කෙනී ප්ලේස් (Kenny Place) හි පිහිටි නිවසකදී මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර, එහිදී තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයෙකු බරපතළ තත්ත්වයෙන් වැගා වැගා (Wagga Wagga) රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ අතට සහ පපුවට පිහි පහරවල් එල්ල වී තිබූ බව සහන සේවා අංශ තහවුරු කළේය.
රිවරිනා පොලිස් දිස්ත්‍රික්කයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු, ඊයේ (06) අලුයම 3:00 ට පමණ සැකකාර තරුණයා සොයා මෙහෙයුමක් දියත් කෙරිණි. එම අවස්ථාවේදී ඔහු නිවසක වහලයේ රහසිගත ස්ථානයක (Roof cavity) සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය. සැකකරුට එරෙහිව බරපතළ ශාරීරික හානි සිදුකිරීමේ චේතනාවෙන් පහරදීම සහ සන්නද්ධව අනවසරයෙන් නිවසකට ඇතුළු වීම ඇතුළු චෝදනා කිහිපයක් සහ පවතින වාරෙන්තු දෙකක් යටතේ නඩු පවරා තිබේ.
අදාළ පාර්ශවයන් එකිනෙකා හඳුනන අය බවට පොලිසිය සැක කරන අතර, අද (07) දින මෙම තරුණයා ළමා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඔහුට ඇප ලබාදීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.














