ඕස්ට්‍රේලියානු නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු මෙන්ම ජාතික නාට්‍ය කලායතනයේ (National Institute of Dramatic Art – NIDA) හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ජෝන් ක්ලාක් (John Clark) වයස අවුරුදු 93 දී අභාවප්‍රාප්ත වී තිබේ. 1969 සිට 2004 දක්වා වසර 35 ක කාලයක් NIDA ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ ලොව සුපතල රංගන ශිල්පීන් රැසකගේ ගුරුහරුකම් ලබා දුන් පුද්ගලයා ලෙස සැලකේ.
1932 ඔක්තෝබර් 30 වනදා ටස්මේනියාවේ හෝබාර්ට් (Hobart) හි උපත ලැබූ ඔහු, 1979 දී සිඩ්නි තියටර් සමාගම (Sydney Theatre Company) පිහිටුවීමට ද පුරෝගාමී විය. පුරාවිද්‍යාව පිළිබඳ හැදෑරීමට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය කාලය තුළ නාට්‍ය කලාවට යොමු වූ ඔහු, එතැන් පටන් දශක ගණනාවක් පුරා ඕස්ට්‍රේලියානු වේදිකා සහ සිනමා කලාව ජාත්‍යන්තර තලයට ගෙන යාමට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළේය.
ඔහුගේ අභාවය වෙනුවෙන් හොලිවුඩයේ සිට ලොව පුරා විසිරී සිටින නාට්‍ය හා සිනමා ශිල්පීන් සිය ශෝකය පළ කරමින් සිටිති. ටස්මේනියානු නාට්‍ය අධ්‍යක්ෂ ක්‍රේග් වෙලින්ටන් (Craig Wellington) සඳහන් කළේ, “හෝබාර්ට් නුවර සිට හොලිවුඩ් දක්වා ජෝන් ක්ලාක්ගේ අඩිපාරවල් සටහන් වී ඇති” බවයි. ඕස්ට්‍රේලියානු සංස්කෘතික ක්ෂේත්‍රයට ඔහුගෙන් ඉටුවූ සේවය සදානුස්මරණීය වනු ඇත.














