කටාර් ගුවන් සීමාව නිල වශයෙන් වසා දමා තිබියදීත්, කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ලැබුණු තාවකාලික අවසරය මත ඉදිරි දින කිහිපය තුළ සීමිත විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් (Qatar Airways) තීරණය කර තිබේ. පවතින බාධාකාරී තත්ත්වය හේතුවෙන් අතරමං වූ මගීන්ට සහාය වීම සඳහා මෙම විශේෂ මෙහෙයුම් කවුළු (Operating corridors) විවෘත කර ඇත.
පවතින ගුවන් සීමා අවහිරතාවය තම පාලනයෙන් බැහැර වූවක් බව පවසන ගුවන් සමාගම, සාමාන්‍ය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ආරම්භ කරන දිනයක් මෙතෙක් තහවුරු කර නොමැත. කෙසේ වෙතත්, මෙම සීමිත ගුවන් ගමන් සඳහා සුදුසුකම් ලබන මගීන් කවුරුන්ද යන්න පිළිබඳව ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් පෞද්ගලිකව ඔවුන් සම්බන්ධ කර ගැනීමට නියමිතය. දෝහා වෙත සහ දෝහා සිට ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මගීන්ට මෙය තාවකාලික සහනයක් වනු ඇත.














