පෙබරවාරි 05 – කතානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ල විභාග කර අවසන් වන තෙක් කතානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා එම තනතුරුවලින් ඉවත් විය යුතු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල මගින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කර ඇති බවත්, පරීක්ෂණ නිම වන තෙක් එම ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙම පැමිණිල්ලට අදාළ කරුණු සභාගත කළ දයාසිරි ජයසේකර මහතා, මේ පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට තමා උත්සාහ කළ ද කතානායකවරයා ඊට ඉඩ ලබා නොදුන් බව ද සඳහන් කළේය. මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තු ප්‍රධාන නිලධාරියෙකු විසින් කතානායකවරයෙකුට එරෙහිව මෙවැනි බරපතළ චෝදනා එල්ල කළ පළමු අවස්ථාව මෙය බවත්, එබැවින් ස්වාධීන පරීක්ෂණයකට ඉඩ ලබා දී තනතුරුවලින් ඉවත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














