සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායකවරයාට එරෙහිව මීට පෙර ගොනු කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට බාධා කිරීම සහ ඒ සඳහා අල්ලස් කොමිසමට බලපෑම් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා මත මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී ස්වාධීන ලෙස මෙම විමර්ශන කටයුතු සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. කථානායකවරයා වැනි ඉහළ නිලතල දරන්නන් විමර්ශන ආයතනවල ස්වාධීනත්වයට බාධා කිරීම බරපතල තත්ත්වයක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














