ලංකාවේ අනාගතය තාක්ෂණ විප්ලවයයි, කරුණාකරලා එයට ඉඩ දෙන ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ රටක් හැටියට අපට තාක්ෂණ නගරයක් ඕනෑ වෙන්නේ ඇයි? පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමින්.
ප්‍රදේශවාසීන්ගෙන් අක්කර 4,000ක ඉඩම් ගන්නවා කියමින් අමූලික බොරු පතුරුවා ජනතාව නොමග යවන්නේ සයිටම් සිදුවීමෙන් පස්සේ පැවැත්මට, ජනබලයක් හෝ සටන් පාඨයක් නොමැතිව ඉන්නා දේශපාලන කල්ලියක් බවත් 1868 ජේම්ස් ටේලර්ගේ තේ වගාවත්, 1977 උපාලි විජේවර්ධනගේ කටුනායක නිදහස් වෙළඳ කලාපයත් වගේ, ලංකාවේ ආර්ථිකයේ ඊලඟ ඉදිරි පිම්ම වන්නේ මේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ එම පැහැදිලි කිරීම සම්පුර්ණයෙන් පහත පරිදි වේ.
ලංකාවේ අපට තාක්ෂණ නගරයක් මොකටද කියන දේ ගත්තාම, මූලික ප‍්‍රවණතා දෙකක් නිසා තමයි මේ රජය අපේ මහානගර සැලසුම අනුව තාක්ෂණ නගර ව්‍යාපෘතිය දියත් කළේ. අපි දන්නවා අපේ රටේ 1948 ඉඳන් 1977 දක්වා පැවති විවිධ රජයන් ආනයන ආදේශක ආර්ථිකයක් ගෙනයන්න උත්සහා කළා. ඒ කියන්නේ විශේෂයෙන්ම 1970 – 1977 පැවතිච්ච ආණ්ඩුව රට ඇතුළේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ රට ඇතුලෙ අපිම නිෂ්පාදනය කරගෙන පිටරටින් භාණ්ඩ ගේන එක ඒ කියන්නේ ආනයන පුළුවන් තරම් සීමාකරලා ‘ආනයන ආදේශක’ නිර්මාණය කරන රටක් හදන්න උත්සාහ කළා. නමුත් 1977 දී හරියටම කිව්වොත් 1976 දී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ඒ ආර්ථිකය ලිහිල්කරණය කරලා ලංකාවේ අපේ භාණ්ඩ හා සේවාවන් පිටරටට යවන එක අරමුණ කරගත්තු අපනයන අභිමුඛ ආර්ථිකයක් හදන්න කටයුතු කළා.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි එහි මූලික කටයුත්ත සිදු කළේ. එතනදී ආයෝජකයින් රටට ගෙන්වා ගැනීම සඳහා ලංකාව පාවිච්චි කළ ප‍්‍රධාන සාධක හා උපක‍්‍රම කිහිපයක් තිබෙනවා, ලාභ ශ‍්‍රමය ඒ කියන්නේ අඩු මිලට අපේ ජනතාවගේ සේවය ලබාගන්න තියෙන හැකියාව, ඒ වගේම ලාභ සම්පත්, ශක්තිමත් නැති පහත් පෙළේ පරිසර නීති, ඒ වගේම පහත් මට්ටමේ ශ‍්‍රම නීති කියන කාරණා මෙතනදි කැපී පෙනුනා. ඒවා සමග බටහිර රටවල වෙළඳපල අපට ආකර්ෂණය කර ගැනීම සඳහා ඒ බටහිර රටවල්වලට පක්ෂපාතී විදේශ ප‍්‍රතිපත්තියක් එතුමා අනුගමනය කළා. එතුමාගේ මේ ක්‍රියාදාමය විසින් ඉතාම ශක්තිමත් ප‍්‍රතිඵල ලංකාවට මුල අවුරුදු කිහිපයේ ලැබුණා. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාළේ 1977 නොවැම්බර් මාසේ 16 වනදා වගේ දවසක රොනී ද මැල් මහත්මයා එකපාරටම රුපියල 100% කින් අවප‍්‍රමාණය කලා. එතනදී රුපියල අවප‍්‍රමාණය වුණත් ඊළඟ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධන වේගය 8% කට වඩා වැඩි උනා. ඒ මොකද අර ලාභ ශ‍්‍රමය නිසා ආපු ක‍්‍රියාදාමයත් එක්ක. ඒ අවස්ථාවේදී උපාලි විජේවර්ධන මහත්මයා, ලලිත් ඇතුළත්මුදලි මහත්මයා වැනි අය අපනයන සැලසුම් කලාප ඇති කරන්න කටයුතු කළා. ඔබ දන්නවද අද චීනයේ ෂෙන් ෂෙන්, ගොන්ෂෝ වැනි පර්ල් නදිය අවට තිබෙන ලෝකයේ ප‍්‍රධානම ආර්ථික නගරයේ ආදර්ශය බවට පත්වුණේ ලංකාවේ අපේ ඒ අපනයන සැකසුම් කලාප කියන කාරණය? එදත් මේ කටුනායක බියගම ඒ ව්‍යාපෘති ඇති කරන කොට, අද තාක්ෂණ නගරයට වගේම මෙවැනි විරෝධතා එල්ල උනා. පොල්ගස් කපනවා කිව්වා, ජන ජීවිතය අඩාල වෙනවා කිව්වා, මීගමු කලපුව විනාශ වෙනවා කිව්වා, ඔය වගේ නොයෙක් විරෝධතා ව්‍යාපාර මැද, විදේශිකයින්ට රට විකුණනවා කිව්වා, විශේෂ නීති පද්ධතියක් මෙතන ඇතිවෙනවා වගේ කාරණාවල් කියාගෙන තමයි එදා ඔය විරෝධතාකරුවන් ගමන් කළේ. කෙසේ නමුත් මේ රටේ එතෙක් තිබූ තේ, පොල්, රබර් ආර්ථිකය වෙනුවට අලූත් අපනයන ආර්ථිකයක් එයින් ඇති වුණා.
හැබැයි දැන් යුගය වෙනස්, එදා වැඩ කළාට ලංකාවට දැන් තවදුරටත් මේ අපනයන සැකසුම් කලාප සංකල්පය මගින් ආර්ථිකය ඉදිරියට ගෙනයන්න බැහැ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාළේ කටුනායක බියගම, කොග්ගල ආදී ස්ථානවලට සීමාවී තිබූ කර්මාන්ත ගමට ගෙන ගියා. එයින් බලාපොරොත්තු උනේ අඩුමුදලට ජනතාවගෙන් සේවය මේ කර්මාන්තවලට අරගන්න, ඒ කියන්නේ ලාභ ශ‍්‍රමය ගමෙන් ගන්න. නමුත් ඒ පියවරත් 1990 ගණන් වන විට අවසන් උනා. තවදුරටත් ඒක ලංකාවේ කරන්න බැහැ. ලංකාවේ ලාභ ශ‍්‍රමය තවදුරටත් නැහැ. ඒ අනුව අපි ආර්ථික විද්‍යාවේ හඳුන්වන නිෂ්පාදන සාධක ලාභ කිරීමෙන් ආයෝජකයින් කැඳවා ගැනීම කියන ප‍්‍රතිපත්තිය උපාය මාර්ගය දැන් ලංකාවට වලංගු නැහැ. ඒ නිසා ලංකාවේ ආසනයන් ආසනයක් පාසා අපනයන සැකසුම් කලාප හැදුවත් කිසිම ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ. ඒක තමයි යතාර්ථය. එහෙමනම් මොකක්ද අපි කළ යුතු? වර්තමානයේ අපේ උපාය මාර්ගය මාරු කළ යුතුයි. අපේ උපාය මාර්ගය අපනයන ක්‍රියාදාමය මාරු කළ යුතුයි. 1990 යම් අපනයන සැකසුමක් තිබුණත්, තේ, පොල්, රබර්, ඇඟලූම් සහ අනෙක් භාණ්ඩ හා සේවාවල අද තිබෙන්නෙත් ඒ සැකසුමමයි අවුරුදු 30 කට පස්සෙත් අපි එතැනමයි. මේක තමයි අපේ ලංකාවේ තිබෙන අපනයන අර්බුදය අපේ ආනයන වැඩි උනාට අපනයන වැඩිවෙලා නැහැ.
1990 දී වියට්නාමයේ අපනයනය බිලියන 5 යි. ලංකාවෙත් බිලියන 5යි. අද වියට්නාමයේ අපනයනය බිලියන 175 යි ලංකාවේ 10 යි. මේ තත්වය වෙනස් කිරීමට අපි මොකක් ද කළ යුත්තේ. එය වෙනස් කිරීම සඳහා කළ යුත්තේ නවෝත්පාදන උපායමාර්ගයට ගමන් කිරීමයි. තවදුරටත් ලාභ ශ‍්‍රමය ලංකාවේ නැති උනාට අපට ශක්තිමත් දැනුම සහිත බුද්ධිමත් පරපුරක් ඉන්නවා. ඒකයි අපි නිතරම අවධාරණය කරන්නේ කෝටි දෙකක් බඩවල්වලට කතා කරන දේශපාලනය වෙනුවට කෝටි දෙකක් මොළවල් වලට කතා කරන ආර්ථික ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි කියලා. මේ නවෝත්පාදනය වෙනුවෙන් අපි සෑහෙන වැඩපිළිවෙලක් දියත් කළා. 2013 දී මම තාක්ෂණ ඇමති හැටියට ලංකාවට නවෝත්පාදන උපාය මාර්ගයක් හඳුන්වා දුන්නා. අපි පෙන්වලා දුන්න එදා අද මේ රටේ 5% ක 6% ක ආර්ථික වර්ධන වේගයක් ගන්න දළ දේශීය නිෂ්පාදනයෙන් 30% ක් 35% ක් ආයෝජනය කළ යුතු බව. අපි තාක්ෂණ ක්‍ෂෙත‍්‍රයේ ආයෝජනයක් කළොත් 1%ක තරමකවත්, ඒකෙන් ආර්ථික වර්ධනය ලැබෙන ප‍්‍රවේගය අනෙකුත් ක්‍ෂෙත‍්‍රවල ආයෝජනය කරනවා වගේ හතර පස් ගුණයක් වෙනවා කියලා අපේ ආර්ථික මහාචාර්යවරු පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඒ උපාය මාර්ගය අපි ලබාදුන්නා. පසුගිය රජය යටතේ යම් යම් පියවර ගත්තා ඒ උපායමාර්ගය මත පදනම් වෙලා. අපට තාම මතකයි ඒ අවස්ථාවේ අපේ කැබිනට් රැස්වීම කිලිනොච්චියේ රැස් වූ වෙලාවේ අපේ අධ්‍යාපන ඇමතිතුමා ආදී පිරිස් සමග සාකච්ඡා කරලා, යෝජනාව මුලින්ම ආවේ තාක්ෂණ ක්‍ෂෙත‍්‍රයේ උපාධි ඇති කළ යුතුයි, මේ කලා ක්‍ෂෙත‍්‍රයේ උපාධි ගොඩට තවත් පිරිස ගොඩ කරන්නේ නැතිව කියන දේ. ඒ අනුව තමයි තාක්ෂණ පාඨමාලාව ඇති කළේ. නමුත් තාක්ෂණය නවෝත්පාදනය ඉදිරියට ගන්න පුළුවන් විධිමත් වැඩසටහනක් එතන තිබුණේ නැහැ. ඒක තමයි පළවෙනි කාරණය. ඒ අනුව රටට අවශ්‍යයි තාක්ෂණ නගරයක්. ඒ වගේම තාක්ෂණ ව්‍යාපෘති ඉදිරියට ගෙන යා හැකි කාර්මික පුරවරයක්. හැමතැනම ගොඩනගනන් උත්සහ දරණ අපනයන සැකසුම් කලාප වෙනුවට දැනුම අපනයනය කරන නව යුගයකට අවශ්‍ය පසුබිම රටට අවශ්‍යයි.
දෙවෙනි කාරණය අද ලෝකයේ පවතින තාක්ෂණ රටාවේ ක්‍රියාදාමය කුමක්ද?, එය අපි හඳුන්වන්නේ 4 වෙනි කාර්මික විප්ලවය කියලා. අපි දන්නා තරමින් 1760 දී ලෝකයේ ආරම්භ උනා ලෝකයේ පළවෙනි කාර්මික විප්ලවය. ඒකට අපි කිව්වා යන්ත‍්‍ර යුගය කියලා. එය අවුරුදු 100 ක් ගියා. ඒක ලෝකයේ විශාල පරිවර්ථනයක් සිදු කළා 1860 දක්වා. 1860 න් පසුව තෙල්, ගල් අඟුරු, ගෑස් ආවා. ඒකත් සමග අලූත් යුගයක් ආවා. ඒ යුගයට කිව්වා පොසිල ඉන්ධන යුගය කියලා. ඊට පසුව 1960 දී අර්ධ සන්නායක යුගය, ඉලෙක්ට්‍රොනික යුගය සහ චන්ද්‍රිකා යුගය ආරම්භ උනා. ඒකත් සමග තොරතුරු තාක්ෂණ යුගය ආවා. Information Technology Age එක ආවා. දැන් මේ 2010 ඉඳන් අපේ ලෝකයේ තිබෙන්නේ අපි කියනවා සුහුරු යුගය එහෙම නැත්නම් Smart Age. මොනවද ඒකෙ වෙන්නේ අලූත් තාක්ෂණ දහරාවන් ගණනාවක් විසින් ලෝකය විප්ලවකාරී විදිහට පරිවර්ථනය කරන එක. ඒ තමයි නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, අනුක ජීව විද්‍යා තාක්ෂණය ඒ වගේම ආහාර, හරිත, රොබෝ, චන්ද්‍රිකා තාක්ෂණය ආදී වශයෙන් එකිනෙක හා ගැටගැහිච්ච, අන්තර්ජාලය සමග ගැටගැහිච්ච ක්‍රියාදාමයන් ගණනාවක් ඇතිවෙනවා. ඊට අමතරව අද ලංකාවේ අලූත් දැනුම් ක්‍ෂෙත‍්‍රයේ සේවා ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ දරුවන් ඉන්නවා තනිවම අප්වර්ක්, ෆයිවර්, ෆ්රීලාන්සර් ආදී නොයෙකුත් වෙබ්අඩවි හරහා නොයෙකුත් සේවාවන් පිටරැටියන්ට නිවසේ ඉඳගෙනම සපයලා දීලා රටට විශාල ආදායමක් ගෙන දෙන. අද අපේ රටේ තේ, පොල්, රබර් කියන ආදායම් ජනනය කරවන අංශයන්ගෙන්, මේ රබර් සහ පොල් වලට වඩා ලොකු අපනයන ආදායමක් අදටත් ආණ්ඩුවේ කිසිම සහයෝගයක් නැතිව දැනුම පදනම් කරගත් ව්‍යාපාර මගින් කරගෙන යනවා.
බොහොමයක් ඒවාට අපි කියන්නේ ඒවාට Knowledge Process Outsourcing -Business Process Outsourcingකියලා. ඉතාම දුෂ්කර මට්ටමේ පටන් අරගෙන තිබෙන මේ ස්ටාර්ටප් කම්පැණි විසින් අද දැනට ඩොලර් මිලියන 600 කට අධික ප‍්‍රමාණයක් රටට විනිමය ගෙනඑනවා. මේක බිලියන ගණනක ආදායම් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මේ ක්‍රියාදාමයට, කාර්මික විප්ලවයට අපි සම්බන්ධ වෙන්න ඕනේ. තායිවානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව මේ හැමෝම ලෝකයේ බලවත් උනේ තමන්ගේ සාපේක්‍ෂ වාසිය තෝරා ගැනීම. අපි කියනවාඒකටComparative Advantageකියලා. මේ සාපේක්‍ෂ වාසිය ලංකාවේ අද ලාභ ශ‍්‍රමය නෙමෙයි අද අපට තිබෙන මේ දැනුම මුල්කරගත් ක්‍රියාදාමය. ඒ නිසා මුළු ලෝකයම යන මේ හතරවෙනි කාර්මික විප්ලවයට අදාල ඒ දැනුම ලංකාවේ අපේ දරුවන් කරා ලබාදෙන ප‍්‍රධාන ස්ථානය තමයි අද මේ හෝමාගම සහ මාලබේ ඉදිකරගෙන යන්නේ.
පළමුවෙන්ම සඳහන් කළ යුතුයි අක්කර 4000 ක් මිනිස්සුන්ගේ ඉඩම් ගන්නවාය කියලා පට්ටපල් බොරුවක් පතුරුවලා තිබෙනවා. එවැනි කිසිම ක්‍රියාදාමයක් නැහැ. ඒවගේම ඉඩම් කොරියාවට විකුණන්න යනවයි කියලා චෝදනාවක් තියෙනවා. කිසිම කොරියන් ආයතනයකට මෙහි ඉඩම් විකිණෙන්නේ නැහැ. ඇත්තටම අපි කොරියානු ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතුයි අපට නොමිලේ මේ මුළු ප‍්‍රදේශයේම අවශය කරන ප‍්‍රධාන සැලසුම, මාස්ටර් ප්ලෑන් එක අපට නොමිලේම සිදුකර දීම ගැන. Land use කියන ඉංග‍්‍රීසි වචනය පටලවාගෙන තමයි මේ අක්කර 4,000 කතාව නිර්මාණය කර ගත්තේ. ඒක නිසා කිසිම එවැනි ක්‍රියාදාමයක් මෙතන සිදු නොවන බව තහවුරු කළ යුතුයි.
ඒ වගේම අපි දැනටමත් අපේ දේශීය ආයතනවලට රටේ අනාගතය වන මේ මාස්ටර් ප්ලෑන් එකට අනුව ඉඩහසර විවෘත කරලා දීලා තිබෙනවා, උදාහරණයක් විදිහට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ සඳහා අක්කර 17 ක් ලබාදී තිබෙනවා. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය රත්මලානේ ඉතාම දුෂ්කර විදිහට පවත්වාගෙන යන්නේ සර්වෝදයට අයිති ඉඩම්වල කිසිම පහසුකමක් නැතිව. ඒ සඳහා අපි ලබාදී තිබෙනවා අක්කර 20 ක්. මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා අක්කර 20ක් ලබාදී තිබෙනවා. ඊළඟට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතාමත්ම ප‍්‍රභල ඉදිරි ගමනක් යනවා, ඒ අනුව ඔවුන් භාරගෙන තිබෙනවා ඒ ප‍්‍රදේශයේ සන්නිවේදන කොඳුනාරටිය යව රැහැන් පද්ධතිය සම්බන්ධ කටයුතු. ඒ අනුව ඒ කටයුතු අද ඒ අය කරගෙන යනවා. ඒ අයගේ ප‍්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානය ඒතැන ස්ථාපිත කර තිබෙනවා. ඊළඟට නැනෝ තාක්ෂණ ආයතනය සඳහා අක්කර 45 ක් දීලා තිබෙනවා. ඒ නිසා මම නැවත සඳහන් කරන්නට කැමතියිි අක්කර 4000 ක් මිනිස්සුන්ගේ ඉඩම් ගන්නවාය කියලා පට්ටපල් බොරුවක් කියන කාරණය. අපි එහෙම කරන්නේ නැහැ.
ඒ වගේම අද මේ සමහරු කියනවා නැනෝ පර්යේෂණාගාරයෙන් නිකුත්වන කිරණවලින් තමයි කියලා පසුගිය කාලේ පෑවිල්ල ඇතිවුණේ ආදී මෙන්න මේ වගේ කතා. නැනෝ තාක්ෂණ ආයතනයේ ආචාර්ය මහාචාර්යවරු අද ඉතාම විල්වකාරී පරිවර්ථන කිහිපයක් සිදුකලා. එකක් අද ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක‍්‍රීඩා කරන ඒ ඇඳුම ඇත්තටම Self Cleaning Apparel එකක්. අපේ රටේ තිබෙන නෙලූම් කොලේ ආදර්ශයට අරගෙන තමයි ඒ ඇඳුම නිර්මාණය කළේ. එය ඒ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන තාක්ෂණ පිම්මක් බවට පත්වුණා. ඒ වගේම අද අපේ කුඹුරුවලට නිකුත් කරන පොහොර වලින් 50% ක් අපතේ යනවා. නමුත් නැනෝ තාක්ෂණ ආයතනයේ අපේ විද්‍යාඥවරියක් නිර්මාණය කළා පොහොරවලින් 50% ක් ඉතිරි කරගන්න පුළුවන් වැඩපිළිවෙලක්. ඒවා තමයි මෙතන සිදු කෙරෙන්නේ. එය තමයි අද රටට අවශ්‍යය. මෙතන අහසට තරංග යවලා පෑවිල්ල ඇති කළා කියලා, විහිළු සහගත කතාවක්, තුට්ටු දෙකේ දේශපාලනය කරන අය ප‍්‍රචාරය කරනවා. එහෙම කරලා ජනතාව රවටලා ඔවුන්ව තමන්ගේ දේශපාලනයේ කොටස් කාරයෝ කරගන්න. මේ අපේ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි, එය සඳහන් කළ යුතුයි. ඉතින් මේ පිරිස් උත්සාහ කරනවා ජනතාව බිය වද්දන්න. ජනතාව නොදන්න තවත් කාරණයක් මම කියන්න කැමතියි. අපේ රටේ අද මුලතිව්වල තිබෙනවා විශාල ඛනිජ සම්පතක්. එකෙන් අපට ටයිටේනියම් ලෝහය මුදාගන්න පුළුවන් නම් ටොන් එකකට ඩොලර් 14000 ක් උපයා ගන්න පුළුවන්. අද අපට හම්බවෙන්නේ ඩොලර් 300 යි. ඉතින් ඒ සම්පතෙන් ටයිටේනියම් වෙන්කර ගැනීමේ පර්යේෂණගාරය සහ ඒකට අවශ්‍ය අනෙකුත් උත්පාදන ක්‍රියාදාමය අද එතන සිදුකරමින් තිබෙන්නේ. ඒ අනුව තව වර්ෂයකින් දෙකකින් එහි ප‍්‍රතිඵල අපට ලැබෙනවා. එතකොට අපනයනයෙන් යෝධ ධනයක් රටට ගලාගෙන එනවා. මෙන්න මේකයි අපි අද එතන කරගෙන යන්නේ නැනෝ තාක්ෂණ ආයතනය මගින්. නමුත් පටු දේශපාලනය කරන පිරිස්වලට රටේ අනාගතය අදාල වෙන්නේ නෑ. ඔවුන්ට ඕනෑ ජනතාව නොමග යවා ඔවුන්ගේ දේශපාලනයට පාවිච්චි කරගන්න.
ඊළඟට අපේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ගමු, අපි ස්තූතිවන්ත වෙනවා බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට. එතුමා හෝමාගම සංවිධායකවරයෙක් වෙලත් එතුමා වචනයකින්වත් මේවට විරුද්ධ වෙලා නැහැ. පාසල නිසා අද ළමයි 7,000 ක් එහේ ඉගෙන ගන්නවා. අද ඒ පැත්තේ මේ ගැන සාකච්ඡා කරන්න ගියහම, ඒ පිරිස් කියන්නේ මොකද්ද ඉස්සර මේ වත්තේ පොල්ගෙඩි 4,000 ක් කැඩුනා දැන් එය නැතිවුණා මහින්ද රාජපක්ෂ විද්‍යාලය හින්දා කියලා. ශිෂ්‍යත්වය පාස්වු ළමයි 7,000 ක් ඉගෙන ගන්නවා එතැන. ඔවුන් නිසි අධ්‍යාපනයක් ලබලා විශ්ව විද්‍යාලයට යනවා. නමුත් ඔවුන් ඒකයි මේ පොල්ගෙඩි 4,000 යි සන්සන්දනය කරනවා. මෙන්න මේක තමයි අපි වෙනස් කර ගන්න ඕනේ ආකල්පය. ඒ පාසල එතන ඉදිකිරීම නිසා ඒ ප‍්‍රදේශයට ආලෝකයක් ලැබුණා. හැබැයි ඒකට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් නැහැ. යන්න මාර්ගයක් නැහැ. ඒවා දියුණු කරන්න විදිහක් නැහැ. ඉතින් මේ ක්‍රියාවලියෙන් වෙන්නේ එය ඉදිරියේදී දියුණුවෙන එක.
ඊළඟට මිනුම් ඒකක ප‍්‍රමිති කාර්යංශයට දීලා තිබෙනවා අක්කර 5 ක්. පොත් ගබඩාවට දීලා තිබෙනවා අක්කර 7ක්. පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අක්කර 2 ක් දීලා තිබෙනවා. කොළඹ විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, කැළණිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයත් ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් අපට ඇවිත් තිබෙනවා පශ්චාත් උපාධි ආයතනයක් සඳහා වන යෝජනාවක්. ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනයට මාලඹේ, ඒ වගේම ජාන විද්‍යා අනුපරමාණුක ජීව විද්‍යාවලින් අපට යොජනා ඇවිත් තිබෙනවා. ඒවා අපි ඉදිරියේදී සලකා බලනවා. එතකොට මේ සඳහා අපි මොනවද කරගෙන යන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා අපි ලබාගන්නවා ඉඩම් අක්කර 246 ක්. ඒ ඉඩම් අක්කර 246ට කිසිම මිනිසෙකුගේ පුද්ගලික පර්චර් 10 – 15 කෑලි, අක්කර භගයේ කෑලිවල එකම ගෙයක්වත් අයිතිවෙන්නේ නැහැ. ප‍්‍රධාන වතු පහක් තමයි එයට අයත් වෙන්නෙ. දෙහිගහවත්ත, පිටිපන දකුණේ අක්කර 23 යි. තලගල වත්ත, තලගල උතුරේ අක්කර 27 යි. දඹගොල්ල වත්ත අක්කර 34 යි. හොරගොල්ල වත්ත අක්කර 120 යි. කාවුුලූ හේන අක්කර 42 යි. මේ ඉඩම් පහෙන් ඉඩම් අයිතිකාරයෝ තුන් දෙනෙක්ම මාව හමුවෙන්න ඇවිල්ලා කිව්වා, මේ වගේ විශිෂ්ඨ කාර්යයකට ඉඩම් දෙන්න ලැබීම අපේ පිංකමක් කියලා. අද මේ අසත්‍ය තොරතුරු නිසා පෙළපාලි යන අය මතක තියා ගන්න ඕනේ. මේ ව්‍යාපෘතිය නිසා කිසිම කෙනෙක්ගේ කිසිම නිවාසයක් තිබෙන ඉඩමක් අපි අත්පත් කර ගන්නේ නැහැ කියන දේ. අපි NSBM ආයතනය එතන හැදුවා. එය දැන් පුළුල් කරන්න යනවා කුරුඳුවත්ත පැත්තට. ඊට මෙහා පැත්තෙන් අවුරුදු ගානට කලින් කරපු පරණ උක් වගාවක් තිබෙනවා. කෙසේ නමුත් අද හරිත විශ්ව විද්‍යාලය ආදියෙන් ඉතාම විශිෂ්ඨ ගනයේ සේවාවක් රටට සිදුවෙනවා. ඒවා අපි තවදුරටත් පුළුල් කරන්න කටයුතු කරනවා.
ඒ ප‍්‍රදේශයේ මාර්ග ගත්තාම, මේ ව්‍යාපෘතියත් සමගම, පිටිපන – තලගල මාර්ගය, දාම්පේ මාර්ගය, උඩුවන පාර, කහතුඩුව, මහහේනවත්ත පිවිසුම් මාර්ගය, ඒ වගේම අභ්‍යන්තර ප‍්‍රවේශ මාර්ගවලට මේ ආයතනවල ප‍්‍රවාහන පහසුකම් ලැබෙනවාත් සමගම මොකද වෙන්නේ. මේ ප‍්‍රදේශයේ ඉඩම්වල වටිනාකම වැඩිවෙනවා. රුපියල් 50,000ට තිබුණු පර්චස් එක දැනටමත් මේ පාරවල් හදන්න පටන් ගත්තට පස්සේ රුපියල් ලක්‍ෂ 3 දක්වා වැඩිවී තිබෙනවා. මේ ජනතාවගේ ඉඩම් කොල්ලකනවයි කිව්වට යතාර්ථය තමයි මේ ඉඩම්වල මිල ගණන් අපේ මේ රාජ්‍ය ආයෝජනයත් සමග වැඩිවෙනවා. හයිලෙවල් පාර පුළුල් කරන කොටම ඉඩම් මිල වැඩිවුනා මතක ඇති. ඔබ අපි දන්නවා කඩවතට අධිවේගී මාර්ගය ගියහම එහේ රුපියල් ලක්‍ෂ එකහමාරට දෙකට තිබූ පර්චස් එක අද ලක්‍ෂ 30 වෙලා තිබෙන හැටි. අධිවේගී මාර්ගය හම්බන්තොටට යනකොට අඟුණකොලපැලැස්සේ අද මිලියන ගණනක් පර්චස් එක. අපි මේ හැමොම කතා කරනවා ඉඩම් කොල්ලකෑම ගැන. නමුත් පුද්ගලිකව ගත්තාම ඔවුන්ගේ සෑම පුද්ගලික ඉඩමකම වටිනාකම වැඩිදියුණු වෙනවා.
ඒ වගේම මෙම ප‍්‍රදේශයට ඉතිහාසයේවත් නැති විදිහට 220KV විදුලි බල පද්ධතියක් ගෙන එවයා. ඒ වගේම ජල පද්ධතියත් පැති දෙකකින් මෙතනට ගෙන එනවා. එතකොට මේ කලාපයේ තිබෙන ජනාවාසවලටත් අලූතෙන් ජලය ලැබෙනවා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ ජනාවාස වල අලූතින් යමෙක් පදිංචිවනවා නම් ඒ හැම කෙනාටමත් එමගින් ප‍්‍රයෝජනය ලැබෙනවා. අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 11,000 ක් දරුවන් අධ්‍යාපනය ලබනවා. අද ඒ විජේරාම ප‍්‍රදේශයට මොනතරම් වටිනා ආර්ථිකයක් එමගින් ගොඩනැගී තිබෙනවාද?. බත්මුල, හොස්ටල්එක, අනෙකුත් අඳුම් පැලඳුම්, පොතපත විකුණන්න ද ආදී වශයෙන් පෙර නොතිබූ ආර්ථිකයක් අද විජේරාමයේ ජනතාවට එමගින් ඇතිවී තිබෙනවා. ඒ නිසා මෙමගින් හෝමාගමට ශක්තිමත් බලගතු ආර්ථිකයක් තව අවුරුදු 10 කින් ලැබෙනවා. අද ඔය විරෝධතා දක්වන ඇතැම් පිරිස්වලට නම් මේ ගැන කිසිම උවමනාවක් නැහැ, කෙසේ නමුත් පිටින් පැමිණ දේශපාලන අරමුණුවලට විරෝධතාවය දක්වන පිරිස්වලට නැති වුණත් අනාගතයේ මේ මගින් ඒ ප‍්‍රදේශයේ ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙනවා.
මේ ඉඩම්වල අපි මොනවද කරන්න යන්නේ කියන කාරණය තවදුරටත් කිව්වොත්, දෙහිගහවත්ත අක්කර 23ක ප‍්‍රමාණයක අපි කරන්න යනවා තාක්ෂණික බෙදා හැරීමේ හා සුළු, මධ්‍ය පරිමාණ උපකාරක මධ්‍යස්ථානයක්. ඊළඟට නවෝත්පාදන වාණිජකරණය කිරීමේ ආයතනයක්. එමගින් කරන්නේ නවෝත්පාදනය සඳහා කැපවන සියළුම දෙනාගේ නවෝත්පාදනය වාණිජකරණය කිරීමයි.Commercialization සඳහා අවශ්‍ය කරන පර්යේෂණාගාරය එතැන බිහි වෙනවා. ඊළඟට හරිත කලාපයක් ඇතිකරනවා පරිසරයට. මේවා වැරදිද? මේවද කරන හානිය හෝමාගමට? ඊළඟට තලගල උතුරේ අක්කර 27ක අපි ප‍්‍රධාන වශයෙන්ම කරන්නේ ලංකා විදුල බල මණ්ඩලයේ ග‍්‍රිඞ් උපපොළ එතැන ඉදිකරනවා. ඒ වගේම ප‍්‍රදේශයේ වැසිජලය ඇතුළු අනෙකුත් ජලය පිරිසිදු කිරීම සඳහා වන පිරිපහදු මධ්‍යස්ථානයක් ජලසම්පාදන මණ්ඩලයෙන් පිහිටුවනවා.
දඹගොල්ල වත්තේ අක්කර 34 ජෛව තාක්ෂණික පර්යේෂණ ආයතනයක් අපි ඇති කරනවා. මේකෙදි අර පිරිස මොකද කියන්නේ, ලංකාවේ ජාන හොරකම් කරන් යනවයි කියලා. ලංකාවේ ජාන නෙමෙයි මේ ලෝකේ ඕනම ජානයක් අද ජාන පර්යේෂණයෙන් කරගෙන යන්න පුළුවන්. අපි මේක රජයේ සම්පූර්ණ අධික්‍ෂණය යටතේ සිදුකරන්නේ. මේ ජාන ක්රියාදාමය මගින් අද කර තිබෙන දේවල් ඉතා විශාලයි. ලෙඩරෝග ගණනාවකට අද ජාන ක්රියාදාමය මගින් පිළිතුරු දී තිබෙනවා. මවගේ සිට එන අවේණික ලෙඩ රෝග දහස් ගණනක් මේ ලෝකේ මේ තාක්ෂණයෙන් විසඳලා තිබෙනවා. ඒ වගේම නොයෙක් ආකාරයට, අපේ සතුන්ට, ශාකවලට වැළඳෙන රෝග වලක්වන්නත් මේවයින් ප‍්‍රතිලාභ ලැබිලා තිබෙනවා. අපි එකක් කියනවා ජාන හෝ අනෙකුත් කාරණාවලින් කෙරෙන දේවල් පර්යේෂණවලට හසු කරන්නේ නැතිව කිසිම ආකාරයකින් මනුෂ්‍ය පරිභෝජනයට හෝ වෙනත් කරුණුවලට යොදා ගන්නේ නැහැ. දැනටමත් ලෝකයේ සහතික වෙලා තිබෙන ආකාරයට පසුව ප‍්‍රශ්න ඇති නොවන ආකාරයේ දේවල්වලට විතරයි අපි මෙතන ඉඩකඩ සකසලා තිබෙන්නේ.
ඒ වගේම හොරගොල්ල වත්ත අක්කර 120 ක අපි කරන්න බලාපොරොත්තුවනවා ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය. ඒ වගේම විද්‍යා තාක්ෂණික ආයතනය. දැන් එතන පවත්වාගෙන යනවා නේචර් සීක‍්‍රට් ආයතනය. අපි ඒ අයටත් ඉඩදී තිබෙනවා තවදුරටත් එතන පවත්වාගෙන යන්න. ඒ ඉඩම අපි ගන්නේ නැහැ. ඒ වගේම ළමා උද්‍යානයක්, වාණිජ මධ්‍යස්ථානයක් එතන අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ගැන නොදන්න අයට කියනවා නම් ලංකාවට අභ්‍යවකාශයේ චන්ද්‍රිකා දෙකක් රඳවා ගැනීමේ අයිතිය තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ සිදු කළේ මොකද්ද චීන චන්ද්‍රිකාවකට අපේ චන්ද්‍රිකාවක් කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ගල් අඟුරුවලින් උපයා ගත් මිලියන 460 ක් අර රාජපක්ෂ පුතාට දීලා ලංකාවේ චන්ද්‍රිකාවක් ඇරියා කියලා කියාපු එක. ලංකාවේ කිසිම චන්ද්‍රිකාවක් ඒ ආකාරයට යවලා නැහැ. නමුත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය අපේ පළවෙනි චන්ද්‍රිකාව දැන් යවන්න සූදානම් කර තිබෙනවා එය නැනෝ චන්ද්‍රිකාවක්. ඒ වගේම අපට එක්සත් ජාතීන්ගේ UNS කප් එක චන්ද්‍රිකාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ චන්ද්‍රිකාවේ ඒ සම්ප්‍රේෂණය ලබාගන්නා ස්ථානය (Receiving Station) අපි මෙතන ඉදිකරන්නේ. ඒ අනුව සියළුම කාලගුණ වාර්තා, අනෙකුත් දේශගුණික වාර්තා, ඒ වගේම GIS මැපින් මේ සියල්ලම අපේ විද්‍යාඥයින්ට රට ඇතුළේ කරන්න පුළුවන්. අද මේ සඳහා කෝටි ගණනක් ගෙවන්න ඕනේ.
අපේ ජල මට්ටම ගැන හැමදාම මම කතානායකතුමාට කතාකරලා කියනවා අද 1.2 යි.1.65 යි, 2 වුණ ගමන් ගංවතුර එනවා ඒ ආදී වශයෙන් කියනවා. මේ තොරතුරු අපි ජපානෙන් ගන්නේ. ජපානය අපට දැනට සේවයක් හැටියට කරන්නේ නමුත් ඉදිරියේදි අපට සේවයක් හැටියට කරන්නේ නැහැ. මේ සියල්ලම අපට ලබාගැනීමේ හැකියාව තිබෙනවා මේ මධ්‍යස්ථානයත් සමග. ලංකාව කියන්නේ අභ්‍යවකාශයේ ඉඳන් බැලූවහම පුංචි දෙයක්. මොකද්ද මේකට කියලා තිබෙන කතාව මේකෙ ඉඳන් කි.මි. 2 ක් දක්වා කිරණ නිකුත් වෙනවාලූ. එමගින් පිළිකා හැදෙනවලූ. මේක තමයි මේකට කියන කතාව. මෙන්න මේ වගේ අමූලික අසත්‍යමත පදනම් වෙලා තමයි මේ කතා යන්නේ. මේවායෙන් ආපස්සට යන්නේ රට. අපි අනිවාර්යයෙන්ම මේ තාක්ෂණ ප‍්‍රවාහයට ඇතුළු විය යුතුයි. අපට තනියෙන් කරගන්න බැරි දෙයක් එක්සත් ජාතීන්ගේ ශක්තිය ඇතුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට ලැබිලා තිබෙනවා. ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ ආතර් සී ක්ලාක් මැතිතුමා ගැන. එතුමා 1945 මේ විද්‍යාත්මක පත්‍රිකාව ලිව්වේ. චන්ද්‍රිකා 3 ක් දැම්මට පස්සේ ලෝකෙම පණිවිඩ හුවමාරු කරන්න පුළුවන් කියලා. එතුමාට ඒ සඳහා ලැබුනේ පවුම් 15 යි. හැබැයි අද ට්‍රිලියන ගාණක ව්‍යාපාරයක් එය. අපි වහාම මේ ක්‍රියාදාමයට ඇතුළු විය යුතුයි.
ඊළඟට කාවුලූහේනේ, විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයේ පර්යේෂණ සංකීර්ණයක්. එය කරන්නේ කොස්ටි කියන ආයතනයෙන්. ශ‍්‍රී ලංකා විද්‍යා තාක්ෂණික ආයතනය එතන අපි බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපේ විද්‍යා තාක්ෂණ ආයතන පිහිටුවාගෙන යද්දි 1960 ගණන්වල. ඊට සමාන්තර ආයතන කොරියාව ආදී රටවලත් පිහිටෙව්වා. නමුත් අපේ ආයතනයට සාර්ථක වෙන්න බැරි උනාට ඒ රටවල ආයතන සාර්ථක වෙලා තිබෙනවා. ඒ ආදර්ශය අරගෙන නව විද්‍යා පර්යේෂණ ආයතනයක් එතන අපි කරගෙන යනවා. ඒ වගේම මෙහි යටිතල පහසුකම් සියල්ලම අපි කරනවා. ඒ වගේම මම කියන්න ඕනෑ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, අපජල කළමනාකරණය ඒ සියල්ලම මෙතන සිදුවෙනවා. ඒ වගේම ඒ ඉඩම් කොටස් අත්පත් කර ගන්න විට ඒ අයට තමන්ගේ අයිතිය නිශ්චිතව සහතික වූ වහාම රජය විසින් වන්දිය අපි ලබාදෙනවා. ඒ වන්දිය අපි ප‍්‍රාදේශීය ලේකම්වරයා ගාව තැන්පත් කරනවා. ඒවගේම සෑම අවුරුද්දක් ගානෙම 7% ගානේ ඒ වන්දි මුදල ඉහළ යනවා ඉඩම්වල අයිතිකාරයා හොයා ගන්නකන්.
එතකොට මේකෙ තිබෙන ඇතැම් වගන්ති අල්ලගෙන, ඇතැම් අයගේ තිබෙන දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වෙනවා. අපි මේවා ගැන දැනුවත් කළේ නැහැ කිව්වට මේවා ගැන ඇතිවෙන්න දැනුවත් කළා. හෝමාගම ප‍්‍රදේශයේ රජයට අයිති පක්ෂවලින් නෙමෙයි ප‍්‍රාදේශී සභාව පිහිටුවලා තිබෙන්නේ. ප‍්‍රාදේශීය සභාව පිහිටුවා තිබෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට එහි දේශපාලන බලධාරියා අපේ බන්දුල ගුණවර්ධණ මැතිතුමා. එතුමා ඒවට විරුද්ධ වෙලා නැහැ. ඒ අය අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා කතා කරලා මේ කරුණු ඉගෙනගෙන, අපටත් යම් යම් යෝජනා ඉදිරිපත් කරලා අපි සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා. කරුණු එහෙම තියෙද්දී අර සයිටම් ප‍්‍රශ්ණයෙන් පස්සේ තමන්ට දේශපාලන පැවැත්මට අල්ලාගන්න සටන් පාඨයක් හොයමින් හිටිය දේශපාලන කල්ලිය තමන්ගේ දේශපාලනයට මිනිස්සු පාවිචචි කරන්න විහිළුසහගත අසත්‍ය තොරතුරු පතුරුවනවා.
අපි ඒ ජනතාවගෙන් ඉල්ලනවා අපේ දරුවොත් අපිත් ජීවත් වෙන්නේ මේ රටේ. හැබැයි ඔය උද්ඝෝෂණ කරුවන්ගේ දරුවෝ ජීවත් වෙන්නේ, පවුල් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එහේ ඉඳන් තමයි මේ ළමයි ටික පාරට ගන්නේ. ඒ අයගේ ළමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න ගමන්, අපේ ළමයි පාරට ගේනවා. ඕක තමයි මේ උද්ඝෝෂකයින්ගේ ක්‍රියාදාමය. මමත් අපේ දරුවොත්, මේ රටේ ඉපදිලා ඉන්න අය. මගෙත් ළමයි ඉගෙන ගන්නෙත් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල. එතකොට අපි මේ රටේ ඉන්න අය. මම ඒ සෑම ජන කණ්ඩායමකටම බොහොම පැහැදිලිව කියනවා, කොළඹ දිස්ත‍්‍රික්කයේ කෙනෙක් හැටියට මටත් මනාප දීපු ජනතාවක් එහේ ඉන්න පිරිස හැටියට අපි කිසිම අවස්ථාවක අපේ ජනතාවට වැරදිවන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හෝ ඒ ක්‍රියාදාමයට අපි වැරැද්දක් කරන්නේ නැහැ. නමුත් අපි එකක් මතක තියාගන්න ඕනේ මේ සම්ප‍්‍රදායික ආර්ථික උපාය මාර්ගයෙන්, සම්ප‍්‍රදායික අධ්‍යාපන උපායමාර්ගයෙන්, සම්ප‍්‍රදායක තාක්ෂණ උපාය මාර්ගයෙන් මේ රට ගොඩගන්න බැහැ.
අද කවුද මේ ලෝකයේ ලොකුම ධනවත්තු මේ ලෝකයේ කාලෙකට කලින් ලොකුම ධනවත්තු ආයුධ වෙළෙන්දො, ඖෂධ වෙළෙන්දෝ, තෙල්, ගෑස්, ගල් අඟුරු ව්‍යාපාරිකයෝ තමයි ලෝකයේ ලොකුම ධනවත්තු. අද කවුද ඇමරිකා එක්සත් ජනපදයේ, ලෝකයේ ලොකුම ධනවත්තු කවුද? ඒ අයට කියන්නේ FAAN කියලා. F අකුරෙන් කියන්නේමොකද්ද Facebook,Aඅකුරෙන් Alphabet, ඒ කියන්නේගූගල් එක. අනෙක් A අකුරෙන් Amazon,N අකුරෙන් Netflix’
නෙට්ෆ්ලික්ස් ගත්තාම ඔවුන්ගේ කතාවෙනුත් ඉගනගත යුතු දේවල් බොහොමයි. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට ඇතුළු වීඩියෝපට බෙදාහැරීමේදී අද ලෝකයේ ප‍්‍රමුඛයා ඔවුන්. ඔවුන්ට කලින් ඇමරිකාවේ ඒ ක්ෂේත‍්‍රයේ හිටපු බලවතා තමයි බ්ලොක්බස්ටර් (Block Buster) කියන්නේ, ලෝකය පුරා විහිදුනු දස දහසකට ආසන්න ශාඛා සංඛ්‍යාවක් බ්ලොක්බස්ටර් සමාගම සතුව තිබුණා. ඔවුන් ප‍්‍රධානවම කළේ සම්ප‍්‍රදායික විදිහට වීඩියෝ ඩීවීඩී, සීඩී, වීඑච්එස් කැසට් ආදිය කුලියට දීමයි. එතකොට චිත‍්‍රපටයක් බලන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ගේ ශාඛාවකට ගිහින් ඒ මුදල ගෙවලා ඒක ගෙදර අරන් එන්න පුලූවන්. නමුත් කාලය ගතවීමත් එක්ක ලෝකයේ සිදුවුණු තාක්ෂණ විප්ලවය හරියට හඳුනාගන්න බ්ලොක්බස්ටර් සමාගමට බැරි වුණා. නෙට්ෆ්ලික්ස් ආයතනය කඩයට ගිහින් චිත‍්‍රපටය ගන්නා ක‍්‍රියාවලිය අන්තර්ජාලය භාවිතයෙන් අනික් පැත්ත හරවලා, ඒ වෙනුවට පාරිභෝගිකයාගේ ගෙදරටම, අතටම චිත‍්‍රපටය එවන්න කටයුතු කළා. අද වනවිට ඔවුන් එසේ යවලා තිබෙන ඒකක සංඛ්‍යාව බිලියන 4කට අධිකයි. ඒ වගේම මේ තාක්ෂණික දියුණුවීමත් එක්ක අද වන විට නෙට්ෆ්ලික්ස් සමාගමේ සේවාවන් හරහා ලෝකය පුරා ඕනෑ තැනක ඉඳන් තමන්ට ඕනෑ කරන චිත‍්‍රපටයක්, ටෙලි නාට්‍යයක් බලන්න පුළුවන් කම ලබලා දීලා තිබෙනවා.ඒ විතරක් නොවෙයි දැන් ඔවුන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදනයත් සිදු කරනවා. මේ මගින් අති විශාල ධනස්කන්දයක් ඔවුන් උපයාගන්නවා. ඕක තමයි තාක්ෂණය එක්ක ලෝකය යන දිශානතිය. අවසානයේ අර තාක්ෂණ විප්ලවය හඳුනාගන්න, ඒකට නිවැරදිව අනුගත වෙන්න අසමත් වුණු බ්ලොක්බස්ටර් සමාගමට වුනේ බංකොලොත්වී ව්‍යාපාරය වසා දමන්නයි. රටක් හැටියට අපිත් ලෝකයේ නව ප්‍රවනතාවයන් හඳුනාගත යුතුයි. අපිත් සුහුරු යුගයට පියමං කළ යුතුයි.
ඉතින් ඔය අය තමයි ලෝකයේ ට්‍රිලියනාධිපතියෝ. ට්‍රිලියනයක් වත්කම් තිබෙන ව්‍යාපාර මේවා. කිසිම තෙල් හා ගෑස් සමාගමක්, කිසිම ඖෂධ සමාගමක්, කිසිම ආයුධ නිපදවන්නෙක් කිට්ටුවකවත් නැහැ. ඒ සමාගම් සියල්ලම කොහොමද බිහි උනේ. මේ පහුගිය අවුරුදු දශක දෙකක කාලය තුළදි. මතක් කරලා බලන්න, අද වගේ අපේ ජනතාව අතර අවුරුදු 10කට කලින් ෆේස්බුක් තිබුණද? කවුද මේ මාර්ක් සකර්බර්ග්. මේ සමාන්‍ය කෙනෙක්. අද අපේ රටෙත් එවැනි ව්‍යාපාරික පන්තියක් බිහිවෙමින් තිබෙනවා. අද ලංකාවේ ලොකුම ධනපතියා, ලාංකිකයා මේ තොරතුරු තාක්ෂණය ඔස්සේ ගොඩනැගුණු කෙනෙක් මිසක් ලංකාවේ අපි දන්න කියන සල්ලිකාරයෝ නෙමෙයි. ඉදිරියේ මෙවැනි පිරිස් දහපහලොස් දෙනෙක් බිහි වෙනවා. ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 1.7 ක්. අපි සතුටු විය යුතුයි මේ ගමන එතනට ගිය එකගැන.
මේ වතුවල අක්කර තිස් හතලිස්දහසක අයිතිය තිබිල හෝ මේ රටේ සමාගම් තිහ හතලිහක අයිතිය තිිබිලා හෝ බැංකුවල අයිතිය තිබිලා හෝ, අරක්කු කඩවල අයිතියෙන් නෙමෙයි එතනට ඇවිල්ලා තිබෙන්නේ. එතනට ඇවිල්ලා තිබෙන්නේ දැනුම පදනම් කර ගත් අයිතියකින්. අද එවැනි ව්‍යාපාරික පිරිස් බය නැතිව අද ඉදිරියට ඇවිල්ලා මේ ක්‍රියාදාමයට ඇතුළු වෙලා තිබෙනවා. අපි ඒ ගොල්ලන්ට ශක්තිය වෙන්න ඕනේ, අපි ඒ අයට ඉඩකඩ ලබා දෙන්න ඕනේ, බැංගලෝරයට පුළුවන්නම් ඒ කටයුත්ත කරන්න අපිටත් පුළුවන් මම බොහොම පැහැදිලිව කියනවා ඉංජිනේරුවෙක් හැටියට අද ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක්ගෙන් වැඩක් ගන්න සාමාන්‍යයෙන් අඩුම ගානේ ඩොලර් හත් අටසීයයක් ගෙවන්න ඕනෑ.
නමුත් ලංකාවේ ඒ කුසලතාවය තිබෙන අය ඉන්නවා ඩොලර් තිහට හතලිහට වැඩකරන්න. එහෙනම් ඒ කුසලතාවය මත අද ලංකාවේ ඉඳන් කටයුතු කරන්න අපට පුළුවන්. අද මේ ඞී.එස්.සේනායක හන්දියේ මේ හැමතැනකම අද කරගෙන යනවා දැන් පටන් අරන් තිබෙන්නේ ව්‍යාපාරය ණඡුධ බිස්නස් එක. ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල එකවුන්ට් හදන්නේ ලංකාවේ. ඒක තමයි එතන අපි ඇතිකරන්න යන්නේ මේ ක්‍රියාදාමයට ඉඩ දෙන්න. අද ඉඩ නැහැ කොළඹ. මම ඉල්ලන්නේ මේ තාක්ෂණ විප්ලවයට කරුණාකරලා ඉඩදෙන්න. මේක තමයි අපේ අනාගතය. අද අපි බැලූවොත් චීනේ අද ගිහින් බලන්න ගොඩනගලා තිබෙන දේවල්. සාමාන්‍ය අය කෝටිපතියෝ වෙලා. මේ ඊයේ පෙරේදා විශ‍්‍රාම ගිය අලිබබා ව්‍යාපාරයේ ජැක්මා ඉංග‍්‍රීසි ගුරුවරයෙක්. ලෝකේ ලොකුම හුවායි සමාගම රතු හමුදාවේ චීනයේ හිටපු සෙබලෙක්. බායිඩූ කියන ප‍්‍රධාන සර්ච් එන්ජින් එක මෙහෙයවපු පුද්ගලයා සාමාන්‍ය තරුණයෙක්. අද මෙවැනිම පිරිසක් මැලේසියාවෙත් බිහිවෙලා තිබෙනවා. මෙවැනිම පිරිසක් ඉන්දියාවෙත් බිහිවෙලා ඉන්නවා. එවැනි පිරිසක් අපි ලංකාවෙත් බිහිකළ යුතුයි.
ඒ නිසා මේක මේ විප්ලවය ගැන කතාකරන අයට කියන්න ඕනේ ඒ කාලයේ තරුණයෝ කිව්වේ ‘අපි යන්නේ කොයි පාරේ පිදෙල් කැස්ත්‍රෝ ගිය පාරේ’ කියලා. දැන් කැස්ත්‍රෝලාගෙ යුගය ඉවරයි. මම බොහොම කණගාටුවෙන් උවත් කිව යුතුයි ලංකාවයි කියුබාවයි අතර අද මානව සංවර්ධන දර්ශකයෙන් අද ආසන්නයෙන් සමානයි. ඒකයි ඇත්ත. අපි ආසන්නයෙන් සමානයි. අද අපි යන්න ඕනේ සකර්බර්ගේ පාරේ. ඒකෙන් අපි කැස්ත්‍රෝට හො චේගුවේරාට අවමානයක් කරන්නේ නැහැ. අපිත් තරුණයෝ කාලේ ඕවා ගැන හොයාපු කාලයක් තිබුණා. අපිත් යන්න ඕනේ මේ අලූත් යුගයට. ඒ ගමන යන්න අවශ්‍ය සකර්බර්ග්ලා දහස් ගණනක් මේ රටේ බිහිකරන ව්‍යාපාරයක් තමයි අපි මේ කරන්නේ. ඒ නිසා මේකට එරෙහිව වංචාවෙන් හා මුලාවෙන් කටයුතු කරන සියළුම දෙනාට ඉතිහාසයේ දිනක කනගාටු වෙන්න වෙයි.
අපි කිසිම ජනතාවකට හානියක් නොකර, කිසිම බලහත්කාරයක් පාන්නේ නැතිව, කිසිම කෙනෙකුට බලය පාවිච්චි කරන්නෙ නැතිව අපි ඉතාමත් ම සබුද්ධිකව මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයනවා. මේක විවෘත කරන්න ගරු අගමැතිතුමා පැමිණිච්ච දවසේ අපි කිව්වා 1868 ජේම්ස් ටේලර් තේ පැලය හිටවපු වෙලාවේ ඔහු කවදාවත් හිතුවේ නැහැ මේ තේ පැලය ලංකාවේ අපනයනයේ බලවතා වෙයි කියලා. උපාලි විිජේවර්ධන 1977 කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇතිකළ වෙලාවේ ආර්ථිකයේ ඊළඟ පිම්ම මේකයි කියලා කල්පනා කළේ නැහැ. ඒ වගේම මේ ආරම්භ කළ එක තමයි මේ රටේ ආර්ථිකයේ ජවන ඇන්ජිම වෙන්නේ කියන එක ප‍්‍රකාශ කරමින්, මේ පාර්ලිමේන්තුවේ සියළුම දෙනාට ඒ සඳහා දායක වන ලෙසත් අදාල ඕනෙම ප‍්‍රශ්නයක් අහන්න අපි විවෘතයි. අදාල ඕනෙම සංවාදයකට අපි විවෘතයි, ඒ වගේම කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් නොකරන බවද ප‍්‍රකාශ කරන්න කැමතියි.