මීට වසර දහතුනකට පෙර විදෙස් සමාගම් දෙකකින් ගෙන්වන ලද බස් රථ අමතර කොටස්වලට නියමිත කාලය තුළ ගෙවීම් නොකිරීම නිසා රුපියල් කෝටි හතළිස් හයකට අධික මුදලක් අමතරව ගෙවීමට ලංකා ගමනාගමන මණ්ඩලයට සිදු වී තිබේ.
මෙම සමාගම් දෙකෙන් මුලින් ම අමතර කොටස් ගෙන්වා ඇත්තේ 2011 වසරේ දී ය. එලෙස ගෙන්වන ලද අමතර කොටස් තත්ත්වයෙන් බාල වීම නිසා එම අමතර කොටස් ප්‍රතික්ෂේප කර නැවත ටෙන්ඩර් පටිපාටියට යන ලෙස කමිටුවක් මගින් නිර්දේශ කර තිබී ඇත. එහෙත් ඒ පිළිබඳ නොසලකා 2012 වසරේ සිට මණ්ඩලය නැවත වසර 4ක් අඛණ්ඩව රුපියල් එකසිය අනූ හතර කෝටි විසි ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය නොවන අමතර කොටස් මිල දී ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක දැක්වේ.
ඒවායින් බොහොමයක් ගබඩාවේ නිෂ්කාර්යව පවතින බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
එලෙස ගෙන්වූ අමතර කොටස් සඳහා ද මණ්ඩලය ගෙවීම් ප්‍රමාද කර ඇත. එහෙයින් සැපයුම්කාර සමාගම, බේරුම්කරණ නඩුවක් පවරා ඇති අතර එහි තීන්දුව වී ඇත්තේ රුපියල් හැට හය කෝටි හතළිස් ලක්ෂයක් සැපයුම්කරුට ගෙවීමට ය. එහෙත් එම මුදල ද මණ්ඩලය ගෙවා නැත. ඒ නිසා සැපයුම්කරු දෙවැනි වරටත් බේරුම්කරණ නඩුවක් ගොනු කර තිබේ
එහි තීන්දුව ප්‍රකාරව මණ්ඩලය රුපියල් එකසිය දොළොස් කෝටි හැට ලක්ෂයක් සැපයුම්කරුට ගෙවා ඇත.
මේ නිසා මණ්ඩලයට සිදු වූ පාඩුව රුපියල් හතළිස් හයකෝටි විසි ලක්ෂයක් බව ද විගණන වාර්තාව පෙන්වා දෙයි.