කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ රැඳවියෙකු අද (10) දිනයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී අධිකරණ භූමියෙන් පලාගොස් තිබේ. මෙලෙස පලාගොස් ඇත්තේ හෙරොයින් මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනා මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ට භාර දී සිටියදී මෙලෙස පලාගොස් ඇති අතර, ඔහු කළුතර නගරය දෙසට දිවගොස් සැඟවී ඇති බවට තොරතුරු ලැබී ඇත. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී සැකකරු පලාගිය ආකාරය සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.














