“කරපු වැරැද්ද නිවැරදි කරනවා නම් සමාව දෙනවා… මේ ලාල්කාන්ත නෙමෙයි, කෘෂිකර්ම ඇමති නෙමෙයි… රට නියෝජනය කරන චරිතයක්,” යනුවෙන් පවසමින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අද (13) අපරාධ විමර්ශන කොට්ඨාසය (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. ඒ, තමන් වහන්සේට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරනු ලබන අපහාසාත්මක ප්‍රචාරයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමිනි.
සිය නීතිඥවරුන් ද පිරිවරාගෙන පැමිණි නාහිමියෝ, කෘතිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් අනිසි ලෙස යොදාගනිමින් තමන් වහන්සේ ඉලක්ක කර මඩ ප්‍රහාර එල්ල කරන බව මෙහිදී අනාවරණය කළහ. එලෙස විශාල වශයෙන් අපහාස සිදු කළ ද, එවැනි ක්‍රියාවලින් තමන් වහන්සේ වට්ටන්නට නොහැකි බවත්, රටේ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙලෙස එදත් අදත් තමන්ට පහර දෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
එමෙන්ම, නිරාගමික සහ විෂමාචාර සංකල්පවලින් බැහැරව වගකිවයුත්තන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ධම්මරතන නාහිමියෝ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ භාරකාරයා ලෙස පිළිගන්නා නමුත් ඔහු වටා සිටින පිරිස්වල ඇතැම් හැසිරීම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් විය යුතු බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.














