ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින්, ප්‍රතිචක්‍රීකරණය කරන ලද සාගර ප්ලාස්ටික් (Ocean Plastic) භාවිතයෙන් නිෂ්පාදනය කළ මෙරට ප්‍රථම ඩෙබිට් කාඩ්පත හඳුන්වා දීමට කාගිල්ස් බැංකුව පියවර ගෙන තිබේ. පරිසර දූෂණය අවම කිරීම සහ තිරසාර බැංකුකරණ සංකල්පය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම කාඩ්පත් නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියන් සාගරය සහ මාලදිවයින අවට මුහුදු තීරයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයෙනි. ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් සහ මාස්ටර්කාඩ් (Mastercard) ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් නිපදවා ඇති මෙම කාඩ්පත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතරම පරිසර හිතකාමී බව විදහා දක්වන සන්නාමයක් ලෙස ද හඳුන්වා දී ඇත.
කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සෙනරත් බණ්ඩාර මහතා පවසන්නේ, බැංකුවේ තිරසාර සංවර්ධන ඉලක්ක (CSG) සපුරා ගැනීමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවයි. පාරිභෝගිකයන්ට තම එදිනෙදා මූල්‍ය ගනුදෙනු සිදු කරන අතරතුරම සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ මෙහෙයුමට සක්‍රීයව දායක වීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සාමාන්‍ය ඩෙබිට් කාඩ්පතක් සතු වේගවත් ගනුදෙනු හැකියාව සහ ගෝලීය පිළිගැනීම මෙම නව කාඩ්පතට ද හිමි වන අතර, බැංකුව සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.
















