2025 වසරේදී කැනඩාවට පැමිණි ස්ථිර පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව 20% කින් පමණ පහත වැටී ඇති අතර, එය 2020 කොවිඩ් වසංගත සමයෙන් පසු වාර්තා වූ අවම අගය ලෙස සැලකේ. මොන්ට්‍රියල් හි කැනේඩියානු අධ්‍යයන සංගමය (ACS) විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2024 වසරේදී 483,655 ක් වූ නව සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2025 වසරේදී 393,530 දක්වා අඩු වී තිබේ.
මෙම පහත වැටීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉන්දියාවෙන් පැමිණෙන සංක්‍රමණිකයන්ගේ අඩුවීමයි. 2024 දී 127,375 ක් වූ ඉන්දියානු ස්ථිර පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව 2025 දී 98,770 දක්වා අඩු වී ඇත. එසේම, විදෙස් සිසුන් සඳහා නිකුත් කරන අධ්‍යයන බලපත්‍ර (Study Permits) සංඛ්‍යාව ද 25% කින් පහත වැටී ඇති අතර, එම අඩුවීමෙන් 72% ක්ම ඉන්දියානු සිසුන් වේ. මීට අමතරව තාවකාලික විදේශීය සේවකයන්, සරණාගතයන් සහ පවුල් අනුග්‍රහය යටතේ පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ද සැළකිය යුතු ලෙස අඩු වී තිබේ.
කැනඩාව තුළ පවතින සංක්‍රමණ විරෝධී ආකල්ප හමුවේ රජය සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම මෙම තත්ත්වයට බලපා ඇත. විශේෂයෙන්ම 2025 මාර්තු මාසයේදී ජස්ටින් ටෘඩෝ (Justin Trudeau) අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු වත්මන් අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) යටතේ ක්‍රියාත්මක වන නව දැඩි සංක්‍රමණ නීති හේතුවෙන් දශකයකට වැඩි කාලයක් පැවති ඉහළ සංක්‍රමණික ප්‍රවණතාව මෙලෙස වෙනස් වී ඇති බව වාර්තා වේ.














