කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඔපිනිකන් විලෙන් මියගිය ‘North Map Turtle’ වර්ගයේ කැස්බෑවන් 150කට ආසන්න සංඛ්‍යාවකගේ සිරුරු හමුවීම පරිසරවේදීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. කැල්ටන් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ග්‍රෙගරි බුල්ටේ විසින් මුලින්ම සොයාගන්නා ලද මෙම සිරුරු පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ කැස්බෑවන්ගේ කටු බිඳී සිරුරු කොටස් වෙන්වී ඇති බවයි. මෙම මරණ සංඛ්‍යාව අදාළ විලෙහි වෙසෙන සමස්ත කැස්බෑ ගහනයෙන් 10%ක් වැනි ඉහළ අගයක් ගන්නා අතර, මෙම ව්‍යසනයට හේතුව ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ගංගා බිළාලයන් (River Otters) වැනි ස්වාභාවික විලෝපිකයන්ගේ ප්‍රහාරයන්ය. සාමාන්‍යයෙන් ශීත සෘතුවේදී මෙම කැස්බෑවන් අධික ශීතලෙන් බේරීම සඳහා විලේ පතුලේ අයිස් තට්ටුව යට විශාල කණ්ඩායම් ලෙස රැඳී සිටින නමුත්, දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් තට්ටු තුනී වීම නිසා විලෝපිකයන්ට ඔවුන් සිටින තැන්වලට පිවිසීම පහසු වී තිබේ.
ගංගා බිළාලයන්ගේ සම සඳහා පවතින ඉල්ලුම අඩුවීම නිසා ඔවුන්ගේ ගහනය වර්ධනය වීම ද කැස්බෑවන්ට තවත් තර්ජනයක් වී ඇති බව විද්‍යාඥයන් පවසති. මීට අමතරව බෝට්ටු මගින් සිදුවන හානි, කැදලි තැනීමේ බිම් අහිමි වීම සහ විල් ආශ්‍රිත මානව ඉදිකිරීම් හේතුවෙන් මෙම සත්ව විශේෂය තවදුරටත් අවදානමට ලක්ව ඇත. මෙම කැස්බෑවන් පරිණත වීමට වසර ගණනාවක් ගතවන බැවින් සහ පැටවුන්ගේ පැවැත්මේ අනුපාතය ඉතා අවම මට්ටමක පවතින බැවින්, වැඩිහිටි සතුන් ස්වල්පයක් මියයෑම පවා මුළු ගහනයම බිඳ වැටීමට හේතු විය හැක. දැනටමත් “විශේෂ අවධානය යොමු කළ යුතු” විශේෂයක් ලෙස නම් කර ඇති මෙම කැස්බෑවන්ගේ වාසස්ථාන ආරක්ෂා කර ගැනීමට කඩිනම් පියවර නොගතහොත් ඔවුන්ගේ අනාගත පැවැත්ම අවිනිශ්චිත වනු ඇති බවට පරිසරවේදීන් අනතුරු අඟවා සිටිති.














