කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ටම්බ්ලර් රිජ් ද්විතීයික පාසලේ පුද්ගලයින් අට දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බියකරු වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු 18 හැවිරිදි ජෙසී වැන් රූට්සෙලාර් නමැති තරුණයෙකු බව එරට බලධාරීන් හඳුනාගෙන තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරු එම ස්ථානයේදීම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය තහවුරු කළේය.
මෙම අතිශය කෲර ප්‍රහාරය ආරම්භ වී ඇත්තේ සැකකරුගේ නිවසිනි. එහිදී ඔහු සිය 39 හැවිරිදි මව සහ 11 හැවිරිදි සුළු සහෝදරයා වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුව ඔහු මීට වසර හතරකට පෙර තමා අධ්‍යාපනය ලැබූ ටම්බ්ලර් රිජ් ද්විතීයික පාසල වෙත ගොස් තිබේ. පාසලේදී සිදු කළ වෙඩි තැබීමෙන් 39 හැවිරිදි ගුරුවරියක ඇතුළු 12 සහ 13 හැවිරිදි වියේ පසුවූ සිසු සිසුවියන් පස් දෙනෙකු මියගොස් ඇති අතර තවත් 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරමින් රාජකීය කැනේඩියානු කඳුකර පොලිසියේ (RCMP) නියෝජ්‍ය කොමසාරිස් ඩ්වේන් මැක්ඩොනල්ඩ් මහතා පැවසුවේ, සැකකරු ජීව විද්‍යාත්මක පිරිමියෙකු ලෙස උපත ලැබුවද මීට වසර හයකට පෙර සිට කාන්තාවක් ලෙස අනන්‍යතාව වෙනස් කර ගැනීමට (Transgender) පටන් ගෙන තිබූ අයෙකු බවයි. සැකකරුගේ පවුල මීට පෙර මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පොලිස් සහය ලබාගෙන ඇති අතර, ඔහු සතු වූ තුවක්කු බලපත්‍රය ද කලකට පෙර අවලංගු කර තිබූ බව අනාවරණය වී තිබේ.
අඟහරුවාදා පස්වරු 1:30 ට පමණ වාර්තා වූ මෙම වෙඩි තැබීමෙන් පසු මිනිත්තු දෙකක් ඇතුළත පොලිස් නිලධාරීන් පාසලට ඇතුළු වී ඇති අතර, ඒ වන විටත් සැකකරු මියගොස් සිට ඇත. ඔහු සන්තකයේ තිබී දිගු තුවක්කුවක් සහ නවීකරණය කරන ලද අත් තුවක්කුවක් සොයාගෙන තිබේ. තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් ගුවන් ගිලන් රථ මගින් රෝහල් ගත කර ඇත.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි මෙම සිදුවීම “අසා නොතිබූ කෲරත්වයක්” ලෙස හඳුන්වමින් සිය ශෝකය ප්‍රකාශ කළේය. පදිංචිකරුවන් 2,400ක් පමණ වෙසෙන කුඩා සාමකාමී ප්‍රජාවක් වූ ටම්බ්ලර් රිජ් නගරය මෙම අනපේක්ෂිත ඛේදවාචකයෙන් දැඩි කම්පනයකට පත්ව සිටී. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














