කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් රැසකගෙන් රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැනඩාවේ ආයතනයක් සමඟ සම්බන්ධතා පවත්වන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මොවුන් මෙම මුදල් ලබාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් කාර්යාංශය වෙත පැමිණිලි 9ක් ලැබී තිබුණි. මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු විසින් අනෙක් සැකකරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බව විමර්ශනවලදී හෙළි විය. ඒ අනුව, අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී ඉතිරි සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (අප්‍රේල් 09) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. විදේශ රැකියා සඳහා බඳවා ගැනීම් කළ හැක්කේ කාර්යාංශයේ බලපත්‍රලාභී නියෝජිතායතනවලට පමණක් බැවින්, කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබා නොදෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විදේශ රැකියා ලබාදීමට මුදල් ඉල්ලා සිටින්නේ නම්, ඒ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීමට 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමතිය හැකිය.













