2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදාහැරීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (05) තීරණය කළේය. හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අදාළ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ප්‍රකාශ කළේ නියෝගය සූදානම් නොමැති බැවින් එය ලබන මාර්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි. රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක් වූවකි.














