කැරම් බෝඩ් වංචාවට සිර දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි
දූෂණ චෝදනාවකට වැරදිකරුවන් වී දීර්ඝකාලීන සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු මස 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය. අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද දින කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කළ බවට එල්ල වූ දූෂණ චෝදනාවකි. එම චෝදනාවට වැරදිකරුවන් කරමින් මීට පෙර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් නියම වූ අතර, හිටපු අමාත්‍යවරුන් දෙදෙනා මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ තමන්ට නියම වූ එම දඬුවම් අභියෝගයට ලක් කරමිනි.














