සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කුඩු අංජු” හෙවත් සිංහාරගේ අමල් ශාමින්ද සිල්වා නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගබඩාකරු සහ බෙදාහරින්නා ලෙස සැලකෙන 36 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය. විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව රත්මලාන, රජමාවත ප්‍රදේශයේ ළමා උද්‍යානයක් අසල සිදුකළ වැටලීමකදී මෙම සැකකරු කොටු කර ගැනීමට හැකිව තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 305යි මිලිග්‍රෑම් 180ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101යි මිලිග්‍රෑම් 270ක් සොයාගෙන ඇත. “කුඩු අංජු” නැමැත්තා විදේශගතව සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මහා පරිමාණ ගබඩා පවත්වාගෙන යාම සහ ප්‍රදේශය පුරා බෙදාහැරීම මොහු විසින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.














