කුවේට් ජාතික තෙල් සමාගමට (KPC) අයත් මිනා අල් අහමදි (Mina al-Ahmadi) පිරිපහදුව ඉලක්ක කර ගනිමින් අද (03) අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි මෙහෙයුම් ඒකක කිහිපයක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. ඉරාන – ඊශ්‍රායල ගැටුමේ ව්‍යාප්තියක් ලෙස සැලකෙන මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ බලශක්ති මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතුව ඇත.
ප්‍රහාරයෙන් පසු හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා හදිසි සහන සේවා කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක යෙදී සිටින අතර, පිරිපහදුවේ මෙහෙයුම් කටයුතුවලට මේ හේතුවෙන් බාධා එල්ල වී තිබේ. කුවේට් ගුවන් ආරක්ෂක අංශ විසින් එරට දෙසට පැමිණි තවත් මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් අතරමගදී විනාශ කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අසල්වැසි බහරේනය තුළ ද ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා (Sirens) නාද වී ඇති අතර, වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැසියන්ට දැනුම් දී තිබේ. මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැති වුවද, ගෝලීය තෙල් මිල කෙරෙහි මෙයින් බලපෑමක් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














