2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ගිය අවස්ථාවේදී, නල්ලූර් කෝවිලේ භාරකරුවන් සහ කුසලාන ප්‍රදර්ශන කණ්ඩායමේ සංවිධායකයන් අතර පසුගිය 01 වැනිදා දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. දකුණේ සිට ගිය පිරිස කෝවිල් භූමිය තුළ පාවහන් පැළඳ එහා මෙහා යාම සහ පිරිමි පාර්ශවය උඩුකය නිරාවරණය කර ඇතුළු විය යුතු බවට වූ සාම්ප්‍රදායික නීති උල්ලංඝනය කරමින් අවිනීතව හැසිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
එහිදී එක් පූජකවරයෙකු සංවිධායකයන්ට දන්වා ඇත්තේ තමන්ට ලෝක කුසලානයට වඩා දෙවියන් වටිනා බැවින්, කෝවිලේ සභ්‍යත්වයට ගරු කිරීමට නොහැකි නම් වහාම කුසලානයත් රැගෙන එම ස්ථානයෙන් පිටවන ලෙසයි. පසුව සංවිධායක කණ්ඩායම විනීතව හැසිරීමට එකඟ වීමෙන් අනතුරුව නියමිත කාලය තුළ කුසලානය ප්‍රදර්ශනය කර ඇති අතර, මින් ඉදිරියට කෝවිලේ සිරිත් විරිත් කඩ කරන කිසිදු කණ්ඩායමකට එහි අවසර ලබා නොදීමට භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ.















